බංග්ලාදේශය ඉන්න තැන ගැන දැන ගන්න හතුරුසිංහ සැලසුම් හදයි

England tour of Bangladesh 2023

3827

එළඹෙන බංග්ලාදේශය සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලියෙන් සිය කණ්ඩායමට යාමට ඇති දුර පරතරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය බව නැවත වරක් බංග්ලාදේශ පුහුණුකාරීත්වය හිමිකර ගත් චන්දික හතුරුසිංහ මහතා අවධාරණය කරනවා.

එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අද (01) පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

“ඔවුන් තමයි වත්මන් ලෝක ශූරයින්, ඔවුන්ගේ කණ්ඩායමක් වෙන තැනක (නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලිය) ක්‍රීඩා කරද්දී, තව කණ්ඩායමක් මෙහේ ඉන්නවා. ඔවුන්ට ඉන්නවා පුදුම හිතෙන තරම් දක්ෂ ක්‍රීඩකයින් පිරිසක්. අපිට දැන ගන්න අවශ්‍යයි අපි කොතන ද ඉන්නේ කියලා වගේම අපි යා යුතු තැන තෙක් ඇති පරතරය කොතරම් ද කියලා. අපි මේ තරගාවලිය හොඳට ක්‍රීඩා කළොත් එය අපිට හොඳ ආත්ම විශ්වාසයක් ලබා දේවී.”

අද පැවැත්වීමට නියමිත තරගය පිළිබඳ ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හතුරුසිංහ එසේ පවසා තිබුණා.

අවසන් වරට බංග්ලාදේශය විසින් සිය රටේ දී ක්‍රීඩා කළ එක්දින ක්‍රිකට් තරගාවලියක් පරාජය වී ඇත්තේ 2016 වසරේ දී වන අතර, එවර බංග්ලාදේශයේ ප්‍රතිවාදීන් වූයේ ද එංගලන්තයමයි. නමුත් ඉන්පසු එක්දින ජාත්‍යන්තර තරගාවලි හතක් සිය මව්බිමේ දී නොකඩවා ජය ගැනීමට බංග්ලාදේශය සමත් වී තිබෙනවා.

“මම හිතන්නේ පසුගිය දවස් කිහිපයේ ම අපි හොඳින් සූදානම් වුනා. ක්‍රීඩකයින් විසින් පෙන්වන කැපවීම ගැන මම ඇත්තටම පැහැදීමෙන් ඉන්නේ.

අපි උපරිම ශක්තියෙන් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඔවුන්ගේ හොඳම කණ්ඩායම නෙවෙයි ඇවිත් ඉන්නේ.

නමුත් ඔවුන්ට ලෝකයේ හොඳම වේගපන්දු බල ඇණියක් ඉන්නවා. ඔවුන්ට මුහුණ දීම මේ තරගාවලියේ අපේ අභියෝගය වේවි.”

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රවීණයින් ලෙස සැලකිය හැකි Mustfizur Rahman, Shakib Al Hassan, Tamim Iqbal ප්‍රවීණයින් පිළිබඳව ද හතුරුසිංහ අදහස් පළ කළා. එහි දී ඔහු විශේෂයෙන්ම Shakib සහ Tamim අතර ඇති විරසකය ඉලක්ක කරමින් අදහස් පළ කළ බව පෙනී ගියා.

“මම රැකියාව පටන් අරන් දැනට දවස් හතක් වෙනවා. මම ක්‍රීඩාගාරවල ඉඳලා තියෙනවා, සමහර තැන්වල හැම ක්‍රීඩකයෙක් ම එකට ම ඉන්නේ නැහැ. ඒත් ඔවුන් පිටියට ගියාම කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරනවා. රෑ කෑම වේලක් ගන්න යන්න ඔබ හොඳ මිතුරන් විය යුතු නැහැ. එයින් කණ්ඩායමට බලපෑමක් නොවෙන තාක් කල් මම එය ගැට‍ලුවක් විදිහට දකින්නේ නැහැ.”

එමෙන්ම තමන් විසින් Tamim, Mushfiqur Rahim, Mahmudullah, Liton Das, Mehedi Hasan Miraz සහ Najmul Hossain Shanto යන ක්‍රීඩකයින් සමග දීර්ඝ සාකච්ඡාවක්  පැවැත්වූ බව ද හෙලි කළ හතුරුසිංහ තවදුරටත් පවසා සිටියේ දැන් බංග්ලාදේශ කණ්ඩායම ඊළඟ පරම්පරාවක් වෙනුවෙන් ඉලක්ක ගත විය යුතු බවයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<