මෙයද හොඳම ටෙස්ට් ක්‍රිකට් තරගය?

England Tour of New Zealand

423

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවැත්වුණු තියුණු ම ටෙස්ට් ක්‍රිකට් තරගයක අවසානය අද (28) දිනයේ නවසීලන්තයේ වෙලිංග්ටන් හිදී දකින්නට ලැබුණා.

එංගලන්තය සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද දිනයේ නිමාව දුටු අතර, එම තරගයෙන් එංගලන්තය පරාජය කර එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීම​ට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු ඉනිමේ පිතිකරණයේ යෙදුණු එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 435ක් ලබා සිටිය දී සිය ඉනිම අත් හිටුවීමට තීරණය කළා. එංගලන්ත ඉනිම වෙනුවෙන් Harry Brook ලකුණු 186ක් සහ Joe Root විසින් නොදැවී ලකුණු 153ක් එක් කිරීමට සමත් වී තිබුණා.

පසුව සිය පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිම ලකුණු 209කට සීමා වූ අතර, ඒ නිසා එංගලන්ත නායක Ben stokes විසින් පිට පිටම දෙවන වරටත් පන්දුවට පහර දීමට (Follow – On) නවසීලන්තයට ඇරයුම් කළා.

ඒ වන විට නවසීලන්තය විසින් ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 226ක් රැස් කර ගත යුතුව තිබුණා.

පිට පිටම දෙවැනි වරටත් පිතිකරණය වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්තය සිය දෙවැනි ඉනිම නිමා ක​ළේ සියල්ලන් ම දැවී ලකුණු 483ක් සිය ලකුණු පුවරුවේ රඳවමිනුයි.

නවසීලන්තය වෙනුවෙන් හිටපු නායක Kane Williamson ලකුණු 132ක් රැස් ක​ළේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාගේ වාර්තාව ද තමන් සතුකර ගනිමිනුයි. ඔහුට අමතරව Tom Blundell විසින් ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව ඔවුන් එංගලන්තයට වඩා ලකුණු 257ක් ඉදිරියෙන් සිටි අතර, සිය දෙවැනි ඉනිමේ දී තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 258ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 256ක දී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනා.

මෙහි දී නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Neil Wagner විසින් ලකුණු 62ක් ලබා දෙමින් එංගලන්තයේ කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුනා.

එංගලන්ත ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 251 දී දැවී ගිය අතර ඉන්පසුව James Anderson සහ Jack Leach විසින් ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක් කිරීමට සමත් වුනා.

එංගලන්ත ඉනිමේ 75 වැනි පන්දුවාරය යවමින් සිටි Wagner විසින් පන්දුවාරයේ මුලින්ම යැවූ පන්දුව ආසන්න ලෙස වයිඩ් පන්දුවක් බවට සැකයක් ඇති වුවත්, විනිසුරුගෙන් එවැනි තීරණයක් ලැබුණේ නැහැ. කෙසේ හෝ Wagner විසින් එම පන්දුවාරයේ දෙවැනි පන්දුවෙන් James Andersonව දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය නවසීලන්තයට ලබා දීමට සමත් වුනා.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ලකුණකින් තරගයක් ජයග්‍රහණය කළ දෙවැනි අවස්ථාව මෙය (මීට පෙර 1993 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් ලකුණක ජයග්‍රහණයක් හිමි කර ගත්තා) වන අතර, Follow – On වීමකින් පසුව ජයග්‍රහණය කළ ලොව සිව්වැනි ටෙස්ට් තරගය ලෙස ද මෙය වාර්තා අතරට එකතු වුනා.

මෙම ජයග්‍රහණය සමඟින් ක්‍රිකට් ලෝකයම උද්දාමයට පත්ව සිටින අතර, තරගය පරාජය වූ එංගලන්ත පාර්ශවය පවා ඒ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර ලබා දෙමින් සිටිනවා.

මේ එවැනි අදහස් කිහිපයක්!

” අපිටත් ඒ ගැන එතරම් කනගාටු වෙන්න බැහැ.

මොන තරම් විශිෂ්ට තරගයක් ද.

ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයින් ව පිනවීමට කළ හැකි සොයලුම දේ අපි කරනවා.”

“ටෙස්ට් ක්‍රිකට් වලට වඩා හොඳ ක්‍රීඩාවක් මුළු ලෝකයේ ම නැහැ, මොන තරම් විශිෂ්ට අවසානයක් ද!”

” විශිෂ්ට ක්‍රිකට් තරගයක්. හොඳම තරග රටාව නැවතත් දිදුලනවා.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<