“මම එක දිගට මාසයක් තිස්සේ ඇඬුවා” – Ishant Sharma

Australia tour of India 2013

5554

2013 දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර සිය ක්‍රිකට් ජීවිතයේ දුර්වලම අවස්ථාවට මුහුණ දීමට සිදු වූ බව ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Ishant Sharma විසින් පවසනවා.

ඉන්දියාව වෙනුවෙන් වඩාත් ම සාර්ථක වූ ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස සැලකුම් ලබන Ishant Sharma විසින් මේ වන විටත් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග සියයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතලොස්ස අතරට එක් වීමට පවා සමත් වී අවසානයි.

මෙම තරග කාලය තුල ඔහු ඉන්දියාව වෙනුවෙන් බොහෝ අවස්ථාවල සාර්ථක පන්දු යැවීම්වල නිරත වීමට සමත් වී ඇති නමුත් ඔහුගේ ක්‍රීඩා ජීවිතය තුල ද යම් යම් අඳුරු මතකයන් නැතුවාම නොවෙයි.

2013 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරයක් සිදු කළ අතර එහි දී ඔවුන්ට එක්දින ජාත්‍යන්තර තරග 7කට සහභාගී වීමට නියමිතව තිබුණා. මෙම තරගාවලියේ තෙවැනි තරගය ඉන්දියාවේ මොහාලි හීදී පැවැත්වුණු අතර, Ishant Sharma හට නම් එම තරගය කිසිදු ආකාරයක සුබදායී මතකයක් වුනේ නැහැ.

එම තරගයේ දී ඉන්දියාව විසින් ලබා දුන් ලකුණු 304ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වරෙක තරගය ජයග්‍රහණය කිරීමට නම් පන්දු 18කින් ලකුණු 44ක් රැස් කර ගත යුතුව තිබුණා.

ඒ මොහොතේ ඕස්ට්‍රේලියානු ඉනිමේ 48 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පන්දුව අතට ගත් Ishant Sharmaට එරෙහිව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක James Faulkner විසින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර, ඔහු එම පන්දුවාරයේ දී Sharmaට එරෙහිව ලකුණු 30ක් වාර්තා කිරීමට සමත් Faulkner වුනේ හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් එල්ල කරමිනුයි.

එම ලකුණු 30 ලබා ගැනීමත් සමඟින් තරගය පන්දුවාර 49 පන්දු 3ක් තුල ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වුනේ පන්දු 29කින් නොදැවී ලකුණු 64ක් ලබා ගත් Faulkner විසිනුයි.

තමන් විසින් එදා යැවූ පන්දුවාරය නිසා ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීමෙන් තමන් දැඩි වේදනාවට පත් වූ බවත්, තරගයෙන් පසුව මාසයක් පමණ ගෙවී යන තෙක් තමන් හැඬූ කඳුලෙන්ම සිටි බවත් මෑතක Cricbuzz වෙබ් අඩවිය සමඟින් සාකච්ඡාවක නිරත වෙමින් සිටි Ishant Sharma විසින් අණාවරණය කළා.

“මගේ දුර්වලම මොහොත තමයි 2013 දී මොහාලි වල දී ඕස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා කළ තරගය. ඊටත් වඩා නරක මොහොතක් මගේ ජීවිතයේ තවත් තියේවි ද කියලා මම දන්නේ නැහැ. ඒක මට ගොඩක් අසීරු වුනා. ඒ මම ගොඩක් ලකුණු දුන්න නිසාම නෙවෙයි, මට වැඩියෙන්ම රිදුණේ අපේ කණ්ඩායම තරගය පරාජය වෙන්න හේතුව මම වුන එකයි. මගේ දැන් බිරිඳ සහ මම, පෙම්වතුන් ලෙස ආශ්‍රය කරපු කාලය ඒ. මම ඇයට කතා කළා. මම හිතන්නේ මාසයකට ආසන්න කාලයක් මම ඇඬුවා. මම හැමදාම ඇයට දුරකතන ඇමතුම් අරගෙන අඬන ගමන් කියනවා මම නිසා කණ්ඩායම තරගය පරාද වුනා කියලා.”

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව තමන්ට එවකට ඉන්දීය නායක MS Dhoniගෙන් මෙන්ම, තමන්ගේ කණ්ඩායම් සගයා Shikar Dhawanගෙනුත් නොමද සහයක් ලැබුණු බව ඔහු අනාවරණය කළා. ඒත් ඒ තරගයෙන් පසුව බොහෝ දෙනෙක් තමන්ව සීමිත ඕවර තරග සඳහා සුදුසු නොවන ක්‍රීඩකයෙක් බව හිතන්න පටන් ගත්තු බවයි Ishant විශ්වාස කරන්නේ.

“හොඳම දේ තමයි MS Dhoni සහ Shikar Dhawan මගේ කාමරයට ඇවිත් කිව්වා,’බලන්න ඔයා හොඳින් කරනවා’ කියලා. ඒත් එක තරගයක් නිසා මම සුදු පන්දුවට හොඳ පන්දු යවන්නෙක් නෙවෙයි කියලා විශ්වාසයක් ඇති වුනා.”

කෙසේ වෙතත් Sharmaගේ ප්‍රකාශයේත් ගත යුත්තක් ඇති අතර, 2016 වසරෙන් පසු ඔහුට නැවතත් ඉන්දීය කණ්ඩායම සමඟින් සීමිත ඕවර තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වී නැහැ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<