“ටෙස්ට් තරගයට පෙර මම සංගක්කාරට ඇමතුමක් ගත්තා” – මැතිව්ස්

1325

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ක්‍රිකට් තරගය ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කළ කුසල් මෙන්ඩිස් හා එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවයේ දී මැතිව්ස්ගේ ඉනිමේ වැඩි ගෞරවය කුමාර් සංගක්කාර හට හිමි විය යුතු බව මැතිව්ස් තරගය අවසන් වීමෙන් පසුව පවසා තිබෙනවා. ඇත්තටම ඒක එහෙම වුනේ කොහොමද?

සිංහයින් ක්‍රිකට් පිටියේ නැවතත් පෙරළියක

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ…

එම තරගයේ පළමු ඉනිමේ දී ද ලකුණු 83ක් ලබා ගත් මැතිව්ස් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 282ක් දක්වා ඔසවා තැබීම වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් පිතිකරණයේ නිරත වුනත්  අවාසනාවන්ත ලෙස ඔහුට ඔහුගේ ටෙස්ට් ශතකය සම්පූර්ණ කරගැනීමට නොහැකි වුනා. ශ්‍රී ලංකා පළමු ඉනිමට පිළිතුරු දුන් නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 578ක දැවැන්ත ලකුණක් ලබාගත් පසුව “ඔවුන්ට බැරි නම් ඇයි අපිට බැරි” යන අධිෂ්ඨානය වැටීමට ඉඩ නොදෙමින් පිතිකරණයේ නිරත වූ මැතිව්ස් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 120*ක් ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 9වන ටෙස්ට් ශතකය ද වාර්තා කරගෙනයි.

මැතිව්ස්ගේ නමට ඉදිරියෙන් සටහන් කර ගත් එම ශතකය ගෙවී ගිය වසරකට ආසන්න කාලය තුල ඔහුගේ පිත්තෙන් වාර්තා වූ පළමු ටෙස්ට් ශතකය ද වුනා. මැතිව්ස් පසුගිය කාලය පුරාවටම ටෙස්ට් අර්ධ ශතකයක් ලබා ගත් නමුත් එතැන් සිට විශේෂයෙන් ලකුණු 80-99 අතර දී මැතිව්ස් බොහෝ අවස්ථාවල දී දැවී ගොස් තිබීම ශතක වෙත යාමට නොහැකි වීමට ප්‍රධාන හේතුවයි.

මෙම ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ අවසන් කාර්තුව තුල දී සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සැකසුණා. ලකුණු 296ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ ප්‍රබල පිතිකරුවන් තුන්දෙනෙක් ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටියේ තරගයේ තෙවැනි දිනය අවසන් වීමටත් පෙරයි. ඒ වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු සටහන 13/3ක් ලෙස ඉතාමත් අසීරු මට්ටමක පසුවිය.

තරගයේ තීරණාත්මක සිව්වැනි දිනයේ දී නවසීලන්ත ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට අවතීර්ණ වුනේ ශ්‍රී ලංකාවේ ඉතිරි කඩුලු 7 ලකුණු 296ක් වීමට පෙරාතුව දවාගෙන ඉනිමක ජයක් හෝ ලබා ගැනීමට අපේක්ෂාවෙන් වුවත් නවසීලන්තය යොදන උපක්‍රම කල්තියා හඳුනාගෙන ඔවුන්ට වඩා උපක්‍රමශීලීව පිතිකරණයේ නිරත වීමට පළමු ටෙස්ට් තරගයේ කතා නායකයින් දෙදෙනා වන මැතිව්ස් හා මෙන්ඩිස් සමත් වුනා.

ඒ සඳහා ඔවුන් දෙදෙනා පන්දුවාර 90ක් සඳහා අතිසාර්ථකව මුහුණ දුන්නා. එදින ක්‍රීඩා කළ පන්දුවාර 90 සහ තරගයේ පස්වැනි හා අවසන් දිනයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම දක්වා ක්‍රීඩා කළ පන්දුවාර 13 ද ඇතුළත් කළ විට පන්දුවාර 103ක් පුරාවට ඔවුන් දෙදෙනා පිතිකරණයේ නිරත වුනේ එම පන්දුවාර ප්‍රමාණය තුල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 274*ක සබඳතාවයක් ද ශ්‍රී ලංකා ලකුණු සටහනට එකතු කරගෙනයි.

ඒ තරගය එසේ අවසන් වීමට පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැතිව්ස් පවසා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගය පැවැත්වුණු වෙලින්ග්ටන් ක්‍රිකට් පිටියේ සාර්ථක වී ඇති පිතිකරුවන් අතර ඉහළින්ම සිටින කුමාර් සංගක්කාර සමඟ දුරකථනය ඔස්සේ යම් සංවාදයක් ගොඩනංවාගෙන යම් උපදෙස් කිහිපයක් ඔහුගෙන් ලබාගත් බව පවසා සිටියා.

“මම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර කුමාර් සංගක්කාර එක්ක කතා කළා. මොකද අපි අවසන් වරට මේ වෙලින්ග්ටන් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ තරගයේ දී ඔහු ද්විත්ව ශතකයක් ලබාගත්තා. මට ඔහුගෙන් දැනගන්න ඕන වුනා කොහොම ද ඔහු ඒ දේ කළේ හා මොනවද ඒ සඳහා කළේ කියලා” යැයි මැතිව්ස් එක්තරා වෙබ් අඩවියකට අදහස් දක්වමින් පවසා තිබෙනවා.

“ඒ සංවාදයේ දී කොහොමද පිතිකරණ පහරවල් හරියාකාරව තෝරාගන්නේ කියලා අපි දෙන්නා හුඟක් කතා කළා. ඔහු කිව්වා පන්දු යවන්නාගෙන් පන්දු යවන්නාට පිතිකරණ පහරවල් තරමක් වෙනස් කරන්න කියලා. පසුව මම මට තිබෙන අත්දැකීමුත් එකතු කරගෙන සංගක්කාරගෙන් ලබාගත්ත වටිනා උපදෙසුත් එකතු කරගෙන ක්‍රීඩා කරපු නිසා මේ වගේ ලකුණු අතරට එන්න පුළුවන් වුනා කියලා මම හිතනවා.

අවසානයේ දී මැතිව්ස් (120*) හා මෙන්ඩිස් (141*) පිළිවෙළින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 9 වැනි හා 6 වැනි ටෙස්ට් ශතක ලබාගෙන ලෝක ක්‍රිකට් පොතේ වාර්තාවන් කිහිපයක් ඇතුළු නව ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත් කළා.

මෙන්ඩිස් හා මැතිව්ස් යන දෙදෙනා ලබාගත් මේ ටෙස්ට් ශතක දෙක අතරින් වැඩි අවධානයට හා කතා බහට ලක්වුනේ මැතිව්ස් ලබා ගත් ටෙස්ට් ශතකයයි. ඒ සඳහා හේතු කාරණා කිහිපයක්ම තිබෙන අතර ඒ අතර සිය ශතකය සම්පූර්ණ කරගැනීමට පසුව මැතිව්ස් විසින් push ups කිහිපයක් කර පෙන්වා ඔහු තවමත් ශක්තිමත්ව සිටින බව ලෝකයාට පැවසිය.

එක් අන්තයක සිටි ක්‍රීඩක මැතිව්ස් හට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව තිබෙන අත්දැකීම් සම්භාරය හා අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ වයස අවුරුදු 23ක් වන යොවුන් ක්‍රීඩක මෙන්ඩිස්ගේ පිතිකරණ තාක්ෂණයයි. ඒ දෙදෙනාම සෑම පන්දුවාරයක්  අවසානයේ කතාබහ කොට දෙදෙනාගේ සන්නිවේදනය ඉතාමත් ඉහළ මට්ටමක තබා ගත්තා.

“අපි දෙදෙනා හැකි සෑම වේලාවකම පිටිය මැද්දේ දී කතා කළා. අපේ දෙන්නා ක්‍රීඩා කළ තරග කාර්තු (sessions) කිහිපය මුළු කණ්ඩායමටම වැදගත් වුනා.” මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු නොදැවුණු සබඳතාවය පිළිබඳව පවසමින් එසේ කියා සිටියා.

එහි දී වැඩිදුරත් අදහස් දැක්වූ මැතිව්ස් මෙසේ පැවසුවා.

“මෙවැනි තරුණ ක්‍රීඩකයෙක් තුළ මෙවැනි ආකාරයේ පරිණත භාවයක් දැකීමට ලැබීම සතුටට කරුණකි. අපගේ අත්දැකීම් අපගේ ක්‍රීඩාව ඉතාමත් හොඳින් වර්ණ ගන්වනවා. නමුත් මෙන්ඩිස් ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඔහු කණ්ඩායම වෙනුවෙන් පළමුව ක්‍රීඩා කරන අතර අපි කණ්ඩායමට අවශ්‍ය දේ ඒ වේලාවේ දී කළා. කියලා මම හිතනවා”

“නවසීලන්ත පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවීම කළා. ඔවුන්ගේ ඒ පන්දු යැවීමේ ලොකු විවිධත්වයක් තිබුණා. ඔවුන් ගොඩක් කෙටි වේගවත් පන්දු හා වේගය අඩාල කළ බවුන්සර් පන්දු අපේ ඇඟටම එව්වා. මම ඒ කිසි දෙකට කලබල වෙලා පිත්ත දාන්න ගියේ නැහැ. මොකද ඔවුන් එහෙම කරන්නේ අපිව ටිකක් කලබල කරලා හිතේ තියන සංසුන් බව නැති කරන්න.” යැයි  අවසානයේ දී මැතිව්ස් පැවසුවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තීරණාත්මක ටෙස්ට් ක්‍රිකට් තරගය හෙවත් බොක්සිං day තරගය මේ මස 26 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්ව සිටිනවා. එතෙක් රැඳී සිටින්න අප සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<