වසර දෙකක් තුල නොකඩවා දෙවරක්ම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ වැරදි අන්තයේ සිට අවසන් කරන්නට සිදුවූ CH & FC ක්‍රීඩා සමාජය, මෙවර 2016/17 තරග වාරය තුලදී නොකඩවා තුන් වරක් ලීග් රග්බි තරගාවලියේ දුර්වලතම කණ්ඩායම වීමේ අවමානයෙන් ගැලවීමට උත්සාහ දරනු ඇත.

පසුගිය ලිපි: 2013 නැවත ලියන්නට සැරසෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය

ඉතිහාසයෙන් බිඳක්,

CH & FC ක්‍රීඩා සමාජය මෙරට රග්බි ක්‍රීඩාව ආරම්භ කල පළමු ක්‍රීඩා සමාජය ලෙස සැලකෙයි. ඉතා දිගු සහ පොහොසත් ඉතිහාස කතාවකට හිමිකම් කියන CH & FC ක්‍රීඩා සමාජයෙන් ශ්‍රී ලංකා ජාතික රග්බි කරලියට දායාද වූ ක්‍රීඩකයන් සංඛ්‍යාවද සුළු පටු නොවේ. කෙසේ වෙතත් යම් යම් හේතු කරණ කොට ගෙන මෙම ක්‍රීඩා සමාජයේ කඩා වැටීමක් පසුගිය කාලය තුල දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් වූයේ පසුගිය තරග වාරයේ ඔවුන් සහභාගී වූ තරග 14 ම පරාජය වීමයි. වසර දෙකක් නොකඩවාම ලීග් ශූරතා ලකුණු සටහනේ අවසන් ස්ථානයට ඇදවැටුණු CH & FC කණ්ඩායම, මෙවර  එම අවමානයෙන් ගැලවීමට සියලු උත්සාහයන් දරනු ඇත. නව පුහුණුකරුවෙක් යටතේ මෙවර සටනට පිවිසෙන CH & FC ක්‍රීඩා සමාජය තම ස්වර්ණමය ඉතිහාසය හා සමාන අනාගතයක් වෙත කෙමෙන් කෙමෙන් පිය නගන්නට බලාපොරොත්තුවෙන් සිටියි.

CH & FC ක්‍රීඩා සමාජයේ රග්බි තොරතුරු ගොනුව වෙත පිවිසෙන්න

CH & FC සංචිතය,

ලකිත් පෙරේරා, නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලකිත් මෙවර යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත CH & FC කණ්ඩායම යම් ගෞරවනීය ස්ථානයක් වෙත මෙහෙයවීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේ පසුගිය තරග වලින් ලද අත්දැකීම් සම්භාරය ද ප්‍රයෝජනයට ගනිමිනුයි.

ඉන්සාම් ඉර්ෆාන්, සහිරා විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි ඉර්ෆාන් පසුව රග්බි ක්‍රීඩාවට තරමක සමානකම් දක්වන ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩාවේද නිරත වී ඇති අඩි 6ක උසකින් සහ කිලෝ ග්‍රෑම් 120ක බරකින් යුතු ක්‍රීඩකයෙකි. ප්‍රොප් ෆෝර්වඩ් ක්‍රීඩකයෙකු ලෙස තම උස සහ ශරීර ශක්තිය CH & FC කණ්ඩායමේ සාර්ථකත්වයට රුකුලක් බවට පත් කිරීමේ අදහසින් ඔහු මෙවර තරග වදියි. ඉර්ෆාන්ගේ ජ්‍යෙෂ්ඨ සගයෙක් වන මොහොමඩ් රිෆ්කාන් ද ඉදිරි කොටසේ ක්‍රීඩා කිරීමට දස්කම් දක්වන ප්‍රධාන ක්‍රීඩකයෙකි.

ෆුල් බැක් ස්ථානයේ ක්‍රීඩා කරන ජනිත් චන්දිමාල් පන්දුව ගෝල කණු වෙත එල්ල කිරීමේ දක්ෂතාවද ඉහලින්ම දක්වන ක්‍රීඩකයෙකි. පසුගිය වසරේ ඔහු ඉක්මන් තීරණ ගැනීම සහ ගෝල කණු අතරින් පන්දුව එල්ල කිරීම යන ප්‍රධාන වගකීම් ඉටුකරමින් CH & FC කණ්ඩායම වෙනුවෙන් මහඟු උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කල අතර මෙවරද ඔහුගේ දස්කම් කණ්ඩායමට වටිනාකමක් එක් කරනු ඇති.

කොළඹ මේට්ලන්ඩ් චන්ද්‍රවංකය කේන්ද්‍ර කර ගත් CH & FC ක්‍රීඩා සමාජ කණ්ඩායම සතු තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් වන උදාර මධුශංක, මෙවර තරගාවලියට එක්වන්නේ නාවික හමුදා සහ යුද හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් රැස් කරගෙන ඇති අත්දැකීම් සම්භාරයක්ද සමගයි. හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ලද අත්දැකීම් සමුදාය සමග CH & FC කණ්ඩායම මෙහෙයවන නායක චානක ෆොන්සේකා කණ්ඩායමේ මැදපෙළ සහ ආරක්ෂක ක්‍රීඩකයන් අතර මූලිකත්වය ගනු ඇත.

තරුණ ජවය,

පසුගිය පාසල් තරග වාරයේදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමේ හුදකලා සටන්කරුවා බවට පත් වූයේ එම කණ්ඩායමේ නායක අශ්රොෆ් මුස්මි ක්‍රීඩකයායි. ඔහු එම අත්දැකීම් සමග තම ක්‍රීඩා සමාජ රග්බි ගමන ආරම්භ කරන අතර CH & FC කණ්ඩායමේ ස්ථානයක් සඳහා සටන් වදින යොවුන් ක්‍රීඩකයන් අතර පාසල් දිවිය නිම කරමින් පළමු වරට අන්තර් සමාජ තරග බිමට පිවිසෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද සිටියි. ඒ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්ව දිනෙත්, ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ උදාර ලක්ෂාන්, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ආකාශ් වීරකෝන් සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ඩිල්ශාන් ෆොන්සේකා වැනි ක්‍රීඩකයන් ප්‍රධාන වෙයි.

Dialog Rugby League Hub

පුහුණු සහ සහාය කාර්යමණ්ඩලය

මෙවර CH & FC ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ නාමල් රාජපක්ෂයි. ඊට අමතරව රග්බි කරලිය තුල ‘ලගා’ ලෙස ප්‍රචලිත Tulagese Tavita ද CH කණ්ඩායමේ උපදේශක වරයෙකු ලෙස සේවය කරයි. ඔහු වසර 20ක් පමණ කාලයක් පුරා මෙරට රග්බි ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ලබා තිබීම CH & FC කණ්ඩායමට විශාල ශක්තියක් ගෙන දෙනු ඇත. පුහුණු කාර්යමණ්ඩලය කෙතරම් ශක්තිමත් වුවත් හිටපු ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය සමග තරගයකින් මෙවර තරගාවලිය ආරම්භ කරන CH & FC කණ්ඩායමේ ඉදිරි ගමන එතරම් පහසු නොවනු ඇත.

2016/17 තරග වාරයේ බලාපොරොත්තු

රග්බි කරලියේ තරු ලෙස සැලකෙන ක්‍රීඩකයන් කිසිවෙක් ඇතුලත් නොවන CH & FC කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ තරුණ සහ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් රැසක් සමග ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් වීමේ විභාගයට මුහුණ දීම සඳහායි. එසේම නොකඩවා 3 වන වරටත් ‘පසුපසින් ප්‍රථමයන්’ වීමේ අවමානයෙන් ගැලවීම සඳහා සටන් වදින ඔවුන්ට මෙම තරග වාරය එවරස්ට් තරණයක් මෙන් පෙනෙනු නොඅනුමානය.

2016/17 සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2138661″]