The Hundred ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙනුත් නම් රැසක්!

The Hundred 2023

533
25 sri lankan players registered to the hundred draft 2023

එංගලන්තයේ පැවැත්වෙන The Hundred ක්‍රිකට් තරගාවලියේ මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 22ක් සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක් ඉදිරිපත් වී සිටිනවා.

මෙවර The Hundred තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති අතර, මීට දින කිහිපයකට ප්‍රථම The Hundred තරගාවලියේ කණ්ඩායම් 8 මගින් මෙවර තරගාවලිය වෙනුවෙන් සිය කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයින් කවුරුන්ද යන වග නිවේදනය කළා.

එසේ රඳවා ගත් ක්‍රීඩකයින් අතර Manchester Originals කණ්ඩායම මගින් රඳවා ගත් වනිඳු හසරංගගේ නමට ඇතුලත්ව තිබුණා.

ඒ අනුව සිය කණ්ඩායම්වල අවශ්‍යතා අනුව ඉතිරි ක්‍රීඩකයින් ව තෝරාගැනීම වෙනුවෙන් The Hundred ක්‍රීඩක/ක්‍රීඩිකා වෙන්දේසිය මෙම මස 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට ලොව ප්‍රබල ක්‍රිකට් තරු රැසක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතර කලක පටන්ම IPL වැනි තරගාවලිවලට පවා සහභාගී නොවී සිය ජාතික කණ්ඩායමට ප්‍රමුඛත්වය දෙමින් සිටි ඕස්ට්‍රේලියාවේ Mitchell Starc පවා සිටීම විදෙස් මධ්‍යය මගින් තරමක් විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. එමෙන්ම ඊට අමතරව Babar Azam, Shaheen Shah Afridi, Mohommad Rizwan වැනි පාකිස්තාන ක්‍රීඩකයින් රැසක් ද මෙවර වෙන්දේසිය වෙනුවෙන් සිය නම් ලබා දී තිබීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මෙවර වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු නම් ලබා දී ඇති අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර ලීග් තරගාවලිවල සිය නම රඳවා තිබෙන මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක යන අයගේ නම් ද ඒ අතර තිබෙනවා.

කෙසේ වෙතත් එළඹෙන ජූලි මාසයේ අග භාගයේ දී ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිත බව සඳහන් කරන ESPN cricinfo වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ එම තරගාවලිය නිසා බොහෝ විට වෙන්දේසියෙන් තේරීපත් වන ක්‍රීඩකයින්ට (ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ) The Hundred තරගාවලියේ මුල් තරග අහිමි වීමට ද ඉඩ ඇති බවයි.

එමෙන්ම කාන්තා අංශයෙන් ද පැවැත්වෙන The Hundred තරගාවලියේ මෙවර ක්‍රීඩිකා වෙන්දේසිය සඳහා ලොව පුරා ක්‍රීඩිකාවන් රැසක් ඉදිරිපත් වී තිබූ අතර එයින් Harmanpreet Kaur, Dane Van Niekerk වැනි නම් කැපී පෙනුණා.

එමෙන්ම Big Bash ලීගය පවා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ද මෙවර වෙන්දේසියට සිය නම ඇතුළත් කර තිබෙනවා.

මෙවර The Hundred ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී ඇති සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව The Hundred නිල වෙබ් පිටුවෙන් ලබා ගත හැකි අතර, ඒ සඳහා ඉදිරිපත් වී ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් ගේ ලැයිස්තුව මෙසේයි.

  • ක්‍රීඩකයින්; මහීෂ් තීක්ෂණ ,ප්‍රභාත් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, මතීෂ පතිරණ, භානුක රාජපක්ෂ, දුශ්මන්ත චමීර, කසුන් රාජිත, දසුන් ශානක, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, දිනේශ් චන්දිමාල්, සචිඳු කොළඹගේ, නිරෝශන් දික්වැල්ල, බිනුර ප්‍රනාන්දු, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ලක්ශාන් පත්තම්පෙරුම, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩර්සේ
  • ක්‍රීඩිකාවන්; චමරි අතපත්තු, විෂ්මි ගුණරත්න, ඕෂධී රණසිංහ

The Hundred තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo සහ The Hundred වෙබ් පිටු ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<