ක්‍රිකට් පිටිය හරි අපූරු තෝතැන්නක්. ඒ අපූරු බව සාක්ෂාත් වෙන්නේ එහි වාර්තාවන් සමඟ.
නිමා වූ සති අන්තයේ දී ශ්‍රී ලාංකීය ක්‍රිකට් කෙතේ ද එවැන්නක් වාර්තා වුනා. ඒ මෙරට පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ත්‍රිත්ව ශතකයක් ලැබූ 10 වැන්නා බිහි වීමයි.
ඔහු නිශාන් මධුශ්ක. රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන 22 හැවිරිදි නිශාන්, සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව තර්ස්ටන් පිටියේ දී නොදැවී ලකුණු 300ක් වාර්තා කරනවා. මේ එම ත්‍රිත්ව ශතකයත් සමඟින් අලුත් වූ මෙරට ත්‍රිත්ව ශතක වංශ කතාව පිළිබඳව ThePapare.com තබන සටහනක්.
| ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව ශතක සමාජය | ||||||
| පිතිකරු | ලකුණු | නියෝජනය | ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය | වසර | |
| 1 | සනත් ජයසූරිය | 340 | ශ්‍රී ලංකාව | ඉන්දියාව | ආර්. ප්‍රේමදාස | 1997 |
| 2 | මහේල ජයවර්ධන | 374 | ශ්‍රී ලංකාව | ද අප්‍රිකාව | එස්. එස්. සී | 2006 |
| 3 | කුසල් පෙරේරා | 336 | කෝල්ට්ස් | සැරසන්ස් | කෝල්ට්ස් | 2013 |
| 4 | තිළිණ කණ්ඩම්බි | 340* | එස්.එස්.සී | ටැමිල් යුනියන් | පී. සරා ඕවල් | 2013 |
| 5 | කිත්රුවන් විතානගේ | 351 | ටැමිල් යුනියන් | ගුවන් හමුදාව | ගුවන් පිටිය කටුනායක | 2015 |
| 6 | මිනෝද් භානුක | 342 | එස්. එස්. සී. | බදුරලිය | සරේ මග්ගොන | 2016 |
| 7 | උදාර ජයසුන්දර | 318 | රාගම | එස්. එස්. සී | ආර්. ප්‍රේමදාස | 2016 |
| 8 | රමේෂ් මෙන්ඩිස් | 300* | මුවර්ස් | මීගමුව | මුවර්ස් | 2020 |
| 9 | දිනේෂ් චන්දිමාල් | 354* | යුද හමුදාව | සැරසන්ස් | FTZ කටුනායක | 2020 |
| 10 | නිශාන් මධුශ්ක | 300* | රාගම | සෙබස්තියනයිට්ස් | තර්ස්ටන් | 2022 |
සනත් ජයසූරිය

ජයසූරියගේ මෙම ඉනිම දින 3ක් තිස්සේ ක්‍රියාත්මක වුනා. තරගයේ දෙවැනි දිනය නිමා වෙන විට ජයසූරිය නොදැවී ලකුණු 12ක් ලබා සිටි අතර තෙවැනි දිනයේ දවස පුරා නොදැවී පිටියේ රැඳී සිටි ජයසූරිය දිනය නිමාවේ දී ලබා සිටි ලකුණු ප්‍රමාණය 175ක්.
වාර්තාගත තෙවැනි දිනයේ දී ද ක්‍රීඩා පිටියේ නොදැවී ක්‍රීඩා කළ ජයසූරිය එදිනට තරගය නතර කරන විට නොදැවී ලකුණු 326ක් ලබාගෙන සිටියා.
ජයසූරිය තම ලකුණු 300 වාර්තා කිරීමට පන්දු 518කට මුහුණ දෙනවා. එය මෙරට ත්‍රිත්ව ශතක වංශ කතාවේ මන්දගාමී ම ඉනිම බවට ඒ හේතුවෙන් ම පත් වෙනවා.
කෙසේ වෙතත් ජයසූරියගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 578කට මුහුණ දෙමින් හතරේ පහර 36ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 340ක් වුනා. එය මෙරට පළමු පෙළ මෙන් ම මෙරට ටෙස්ට් වංශ කතාවේ ද මංගල ත්‍රිත්ව ශතකයයි.
මහේල ජයවර්ධන

දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 ජූලි 27 වැනිදා කොළඹ 7, SSC පිටියේ දී මහේල මෙම දක්ෂතාව දක්වන්නේ තෙවැනි දිනයටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින්. ඔහු පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 55ක් ද සහ දෙවැනි දිනය නිමා වන විට නොදැවී ලකුණු 224ක් ලබා ගන්නවා.
තෙවැනි දිනයේ දී ඔහු පන්දු 572කට මුහුණ දෙමින් හතරේ පහර 43ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 374ක් ලබා ගන්නවා.
කුසල් පෙරේරා
මෙරට ක්‍රිකට් පිටියේ තෙවැනි ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගන්නා කුසල් පෙරේරා පළමු පෙළ මෙරට තරගාවලියක දී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමේ ගෞරවයට පත් පළමුවැන්නා ද වෙනවා.

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමා වන විට කුසල් නොදැවී ලකුණු 289ක් රැස් කරන ලද අතර එළඹි 2013 මාර්තු 16 වැනි දෙවැනි දිනයේ දී මෙම කඩඉමට පිවිසෙනවා.
ඔහුගේ ඉනිම නිමා වෙන්නේ පන්දු 275කට මුහුණ දෙමින් හතරේ පහර 29ක් සහ හයේ පහර 14ක් සමගින් ලකුණු 336ක් ලබා ගනිමින්. ලකුණු 300 රැස් කිරීමට කුසල් පන්දු 244ක් පමණක් වැය කරන අතර එය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වෙන ලද වේගවත් ම ත්‍රිත්ව ශතකය බවට පත් වෙනවා.
තිළිණ කණ්ඩම්බි
කුසල්ගේ ත්‍රිත්ව ශතකය වාර්තා වීමෙන් අනතුරු ව දින 14ක් ඉක්ම ගිය තැන දේශීය ක්‍රිකට් පිටියට නැවත ත්‍රිත්ව ශතකයක් එක් වෙනවා. ඒ SSC කණ්ඩායමේ තිළිණ කණ්ඩම්බි ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහි ව නොදැවී වාර්තා කරන ලද ලකුණු 340යි.

ඉනිම අත්හිටුවන විට කණ්ඩම්බි පන්දු 367කට මුහුණ දෙමින් හතරේ පහර 40ක් සහ හයේ පහර 8ක් තම ඉනිමට එක් කරනවා. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායම් නායකයෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ ගෞරවය කණ්ඩම්බි හිමි කර ගන්නවා.
එමෙන් ම එම වසරේ දී ඔවුන් එහි ශූරතාව ද දිනා ගන්නා ලද අතර ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ කණ්ඩායමක් එවැන්නක් සිදු කළ පළමු අවස්ථාව ලෙසින් ද මෙය ඉතිහාසයට එක් වුනා.
| එක් එක් ක්‍රීඩකයන් ත්‍රිත්ව ශතකයන් කරා ගිය ගමන් මග පන්දුවලින් | ||||||||
| 50 | 100 | 150 | 200 | 250 | 300 | ඉනිමේ නිමාව | ලකුණු | |
| සනත් ජයසූරිය | 71 | 138 | 235 | 327 | 425 | 518 | 578 | 340 |
| මහේල ජයවර්ධන | 72 | 162 | 260 | 324 | 402 | 491 | 572 | 374 |
| කුසල් පෙරේරා | 50 | 94 | 131 | 174 | 202 | 244 | 275 | 336 |
| තිළිණ කණ්ඩම්බි | 84 | 135 | 208 | 271 | 299 | 342 | 367 | 340* |
| කිත්රුවන් විතානගේ | 46 | 103 | 155 | 196 | 214 | 245 | 283 | 351 |
| මිනෝද් භානුක | 67 | 144 | 186 | 233 | 265 | 302 | 320 | 342 |
| උදාර ජයසුන්දර | 67 | 140 | 227 | 304 | 372 | 422 | 448 | 318 |
| රමේෂ් මෙන්ඩිස් | 85 | 126 | 161 | 203 | 238 | 270 | 270 | 300* |
| දිනේෂ් චන්දිමාල් | 82 | 149 | 223 | 288 | 312 | 341 | 391 | 354* |
| නිශාන් මධුශ්ක | 74 | 134 | 204 | 299 | 354 | 414 | 414 | 300* |
කිත්රුවන් විතානගේ

ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව දක්වන්නේ මෙරට වේගවත් ම ත්‍රිත්ව ශතක අතර දෙවැනි ස්ථානය ද හිමි කර ගනිමින්. ඒ කුසල් පෙරේරාගේ ඉනිමට වඩා පන්දුවක වෙනසකින්.
තරගයේ පළමු දිනය අවසන් වන විට කිත්රුවන් ලකුණු 273ක් ලබා සිටි අතර දෙවැනි දිනය වූ 2015 පෙබරවාරි 14 වැනිදා තම ඉනිම නිමා කරන විට පන්දු 283කට මුහුණ දෙමින් හතරේ පහර 37ක් සහ හයේ පහර 14ක් සමඟින් ලකුණු 351ක් ලබා සිටියා.
- පර්සි අංකල්ගේ රස කතා!
- සිකන්දර් රාසා රඟන “නාග දමනය”
- පාකිස්තානයට එරෙහි දඟයන්ගේ අරගලය
- කොරෝනා සහ බාධක මැද වාර්තා සමඟ නිමා වූ Warne – මුරලි කුසලානය
- උනන්දුවාගේ කෝණය
ලෝකයේ පළමු පෙළ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා වෙන්නේ 1876 අගෝස්තු 12 වැනිදා WG Grace විසින්. එහි 200 වැනි ශතකය කිත්රුවන් විසින් වාර්තා කරන්නේ ඊට වසර 139කට පසුවයි.
කෙසේ වෙතත් මේ ලැයිස්තුවේ 150 වැනි ත්‍රිත්ව ශතකය වාර්තා කරන ලද Chris Gayle මෙරට දී පළමු පෙළ ත්‍රිත්ව ශතයක් වාර්තා කළ පළමු විදෙස් ක්‍රීඩකයා බවට පත් ව සිටිනවා. ඒ 2010/11 තරග සමයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකා- කොදෙව් ටෙස්ට් තරගයේ දී.
| ලෝකයේ කඩඉම් ත්‍රිත්ව ශතකලාභීන් | ||||||
| 1 | WG Grace | 344 | Gentlemen of MCC | කෙන්ට් | St Lawrence Ground, Canterbury | 1876 |
| 50 | Don Bradman | 369 | දකුණු ඕස්ට්‍රේලියාව | ටස්මේනියා | Adelaide Oval | 1936 |
| 100 | WV Raman | 313 | තමිල් නාඩු | ගෝවා | Panaji | 1989 |
| 150 | Chris Gayle | 317 | බ.ඉ. කොදෙව් | දකුණු අප්‍රිකාව | Antigua | 2005 |
| 200 | කිත්රුවන් විතානගේ | 351 | ටැමිල් යුනියන් | ගුවන් හමුදාව | ගුවන් කටුනායක | 2015 |
මිනෝද් භානුක

මිනෝද්ගේ ඉනිම තෙදිනක් පුරා ක්‍රියාත්මක වූ අතර පළමු දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 18ක් ද සහ දෙවැනි දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 263ක් ද ලබා සිටියා.
තෙවැනි දිනය වූ 2016 ජනවාරි 10 වැනිදා මිනෝද් පන්දු 320කට මුහුණ දෙමින් හතරේ පහර 35ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 342ක් ලබා ගන්නවා.
උදාර ජයසුන්දර

තරගයේ පළමු දිනය නිමා වන විට උදාර ලකුණු 184ක් ලබා සිටි අතර දෙවැනි දිනයේ පන්දු 448කට මුහුණ දෙමින් හතරේ පහර 34ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 318ක් ලබා ගන්නවා.
රමේෂ් මෙන්ඩිස්

මීගමුව ක්‍රීඩා සමාජය සමඟ පැවති මෙම තරගයේ දී රමේෂ් පළමු දිනයේ දී නොදැවී ලකුණු 205ක් ලබා ගන්නවා. තෙවැනි දිනය වූ 2020 පෙබරවාරි 01 වැනිදා රමේෂ් තම නොදැවුණ ඉනිම නිමා කරද්දී පන්දු 270කට මුහුණ දෙමින් හතරේ පහර 28ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 300ක් ලබා සිටියා.
දිනේෂ් චන්දිමාල්

නිශාන් මධුශ්ක

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පළමු දිනයේ දි නොදැවී පිටියේ රැඳී සිටි නිශාන් නොදැවී ලකුණු 155ක් ලබා සිටියා. අනතුරුව තරගයේ දෙවැනි දිනය වූ 2022 අගෝස්තු 27 වැනිදා පන්දු 414කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 300ක් ලබා ගත්තා.
නිශාන් මෙම දක්ෂතාව දක්වන විට 22 වැනි පසු වූ අතර ශ්‍රී ලාංකීය ත්‍රිත්ව ශතක වංශ කතාවේ ළාබාලතමයන් අතර දෙවැනි ස්ථානයට පත් වුනා. එහි පළමුවැන්නා වන්නේ මිනොද් භානුක.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















