බැඩ්මින්ටන් පිටියේ නැගී එන යෝෂිත සහ අනුත්මි

515

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කළ 70 වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලියට සමගාමීව පැවති 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ නැගී එන බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස යෝෂිත ද සිල්වා සහ නැගී එන ක්‍රීඩිකාව ලෙස අනුත්මි සූරියබණ්ඩාර සම්මාන දිනා ගත්තා.

යෝෂිත ද සිල්වා

ගම්පහ සුමේධ විද්‍යාලය නියෝජනය කරන 14 හැවිරිදි යෝෂිත ද සිල්වා මෙවර තරගාවලියේ 15න් පහළ තරගාවලියේ දී පෑ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙම සම්මානයට හිමිකම් කීවා.

“ගොඩක් සතුටුයි ලැබුණ මේ සම්මානයට. අවසන් තරගය දක්වා එන්න උත්සාහ කළත්, අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වෙන්න වුනා. මගේ දක්ෂතාවලට හිමි වූ මේ අගය කිරීම අනුව ඉදිරියේ දී එහි ගෞරවය රැක ගැනීමට උත්සාහ කරනවා,” යෝෂිත ද සිල්වා ThePapare.com සමඟ පැවසුවා.

යෝෂිත බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිසෙන්නේ දිගින් දිගට ම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියුතු වීමේ අදහසින් නොවේ. ඒ වෙද්දී යෝෂිතට වයස අවුරුදු 11ක් විතර ඇති කියලයි කියන්නේ.

“අක්කා ටිකක් මහතයි. මේ නිසා අම්මා එයාව බැඩ්මින්ටන් ගහන්න පෞද්ගලික තැනකට එක්ක ගෙන ගියා. මමත් ඒ සමඟ ගිහිල්ලා තමයි බැඩ්මින්ටන් ගහන්න පටන් ගන්නේ. සතියකට දවසක් වගේ තමයි අපි සෙල්ලම් කළේ. අවුරුද්දකට විතර පස්සේ ඒ ක්‍රීඩා සමාජය මගින් තරගාවලියක් පැවැත්වූවා. මම ඒකේ යුගල ශූරතාව දිනා ගන්නවා. ඒ ජයග්‍රහණය තමයි මාව දිගින් දිගට ම බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු කළේ.”

එම ජයග්‍රහණයත් සමඟ පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සමඟ ද එක් වෙන යෝෂිත, බැඩ්මින්ටන් කරළියේ කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙන්නේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ දී වයස අවුරුදු 15න් පහළ ශූරයා වීමත් සමඟින්. ඒ සමඟ ම පැවති SLIIT විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් තරගාවලියේ ද ඔහු එම වයස් කාණ්ඩ ඉසව්වේ ම ශූරයා බවට පත් වීමට සමත් වෙනවා.

යෝෂිත පුහුණුකරු තුෂාන් සමඟ

“මේ ජයග්‍රහණ පිටුපස්සේ සිටින ප්‍රධානම තැනැත්තා වන්නේ පුහුණුකරු තුෂාන් ගෝමස් සර්. ඒ වගේ ම පාසලෙනුත් විශාල ලෙස උදව් කරනවා. ඒ සෑම කෙනෙක් සමඟ ම මගේ අම්මා, තාත්තා සහ අක්කා දක්වන සහයෝගයත් අමතක කරන්න බැහැ.”

යෝෂිතගේ පියා සුජිත් කරුණාරත්න ද සිල්වා මහතා. ව්‍යාපාරිකයෙක් ලෙසින් අතිශය කාර්යබහුලව කටයුතු කළත්, පුතනුවන්ගේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් කාලය ගත කරන්න විශාල මහන්සියක් දරනවා.

අම්මා දීපිකා මනෝජනී ද සිල්වා මහත්මිය, තමයි යෝෂිතගේත් පියා සුජිත්ගේත් කාර්යබහුලත්වය කළමනාකරණය කරන්නේ. ඒ වගේ ම මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබන අක්කා, නෙත්මි ඉරෝෂි ද සිල්වා ද තම සහෝදරයාගේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රධාන නරඹන්නිය මෙන් ම විවේචිකාව ද වෙනවා.

“බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මේ අයගේ සහයෝගය ද ඇතිව අනාගතයේ දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා,” යෝෂිත ද සිල්වා ThePapare.com සමඟ පැවසුවා.

අනුත්මි සූරියබණ්ඩාර

කොළඹ විදුර විද්‍යාලයේ ඉගනුම ලබන අනුත්මි සූරියබණ්ඩාර, තවමත් 14 වැනි වියේ පසුවෙන ක්‍රීඩිකාවක්.

මෙවර තරගාවලියේ දී ඇය ජාතික කනිෂ්ඨ තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ බාලිකා ඉසව්වේ පළමු 8 දෙනා අතරට පැමිණීමට සමත් වෙන අතර ම ජාතික තරගාවලියේ විවෘත කාන්තා අංශයේ පලඟ ශූරිය බවට ද පත් වෙනවා. ඒ හේතුවෙන් ම ඇය මෙම නැගී එන ක්‍රීඩිකාව ලෙසින් සම්මානයට නිර්දේශ වෙනවා.

“ගොඩක් සතුටුයි. මේක මගේ බැඩ්මින්ටන් ගමන විශාල උත්තේජනයක්. මේ ගමනේ දී ගොඩක් උදව් කළේ ශ්‍රීමාල් අපොන්සු සර්. මගේ අඩු-පාඩු හදා ගන්න උපදෙස් දෙමින් තරගයෙන් තරගයට මාව දිරිමත් කළේ ශ්‍රීමාල් සර්,” අනුත්මි සූරියබණ්ඩාර ThePapare.com සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.

අනුත්මි මුලින් ම අකුරු කරන්නේ Asian Grammar පාසලේ. එහි දී 3 පංතියේ සිටිය දී තමයි ඇය මුලින් ම බැඩ්මින්ටන් පිටියට එක් වෙන්නේ.

“අපි ගොඩක් අය අතරින් තමයි මම බැඩ්මින්ටන් ක්‍රීඩාවට තේරෙන්නේ. අවුරුදු 2ක් විතර මම එහේ ක්‍රීඩා කළා.”

අනුත්මි පුහුණුකරු ශ්‍රීමාල් සමඟ

එම කාලයේ දී ඇයගේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ දුෂාන් අනුරුද්ධික මහතා. එවකට මාතර කඹුරුවෙල දී පැවති දකුණු පළාත් කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියක දී අනුත්මි 11න් පහළ ශූරිය බවට පත් වෙනවා. එය තමයි ඇය දිනූ මංගල බැඩ්මින්ටන් පදක්කම.

එම ජයග්‍රහණයත් සමඟින් ඇය වයස අවුරුදු 11න් පහළ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් අතර පළමු 5 දෙනා අතරට පිවිසීමට සමත් වුනා. ඒ සමඟින් ම ඇයගේ පාසල ද වෙනස් වෙනවා. 5 ශ්‍රේණියේ සිට ඉගනුම ලැබීමට විදුර විද්‍යාලය වෙත පිවිසෙනවා.

විදුර විද්‍යාලය වෙත පැමිණි ඇය ශ්‍රීමාල් අපොන්සු මහතා යටතේ බැඩ්මින්ටන් ප්‍රගුණ කරනවා. එය ඇයගේ බැඩ්මින්ටන් ගමන් මගට සුවිශේෂීත්වයක් එක් කරනවා.

“පසුගිය කාලයේ දී මම ජාතික කනිෂ්ඨ තරගවල දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙනවා. ඒ වගේ ම SLIIT විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් තරගාවලියේ දී  වයස අවුරුදු 15න් පහළ බාලිකා ඉසව්වේ ශූරිය වෙනවා. මට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් දිගු ගමනක් යන්න පුළුවන් කියන මඟ පෙන්වීම කළේ ශ්‍රීමාල් සර් සහ විදුර විද්‍යාලය. ඒ ගැන ඔවුන්ට මගේ ලොකු භක්තියක් තියෙනවා,” අනුත්මි පැවසුවා.

අනුත්මිගේ පියා චන්ද්‍රජිත් සූරියබණ්ඩාර මහතා. පෙර මානව සම්පත් කළමණාකාරවරයෙක් ලෙසින් කටයුතු කරමින් සිට මේ වන විට ව්‍යාපාරිකයෙක් ලෙසින් කටයුතු කරමින් සිව්දෙනෙක්ගෙන් යුත් පවුලේ කුටුම්භාරක්ෂකයා ලෙස කටයුතු කරනවා. ඊට ගණකාධිකාරීවරියක් ලෙසින් කටයුතු කරන මව, අංජනා උමගිලිය ද සුවිශේෂී දක්වන බවයි සූරියබණ්ඩාර මහතා පවසන්නේ.

අනුත්මිගේ නැගණිය සනුත්මි සූරියබණ්ඩාර ද විදුර විද්‍යාලයේ ඉගනුම ලබන අතර ඇය  වයස අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවක්.

“අම්මා, තාත්තා, නංගි නිතර ම මම පස්සේ ඉන්නේ. මගේ දක්ෂතා ගැන විතරක් නෙමේ පුහුණුවීම් ගැනත් මාව දිරිමත් කරන්නේ මේ අය. ඔවුන්ගේ වගේ ම මගෙත් එක ම බලාපොරොත්තුව රට වෙනුවෙන් පදක්කමක් ගේන එක. ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා වගේ ම සහ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන තුරු අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරනවා,” අනුත්මි සූරියබණ්ඩාර ThePapare.com සමඟ පැවසුවා.

බැඩ්මින්ටන් පිටියේ නැගී එන ක්‍රීඩකයා සහ නැගී එන ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ යෝෂිත ද සිල්වා සහ අනුත්මි සූරියබණ්ඩාරට ThePapare.com හි සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<