වෙල්ලාලගේ නාමය බැඩ්මින්ටන් ක්‍රීඩාවත් ආක්‍රමණය කරයි

3082

පසුගිය දා ක්‍රීඩාංගණ 3ක් කේන්ද්‍ර කර ගනිමින් පැවති 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සහ 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් දක්ෂතා දැක්වීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඉගනුම ලබන 16 හැවිරිදි පුලින වෙල්ලාලගේ සමත් වුනා.

ලබා ගත්ත ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙනවා. මම පසුගිය කාලයේ හිටියේ ඩුබායි රාජ්‍යයේ. තරගාවලියට සති දෙකක පමණ කාලයක් තියෙද්දීයි ලංකාවට ආවේ. ඒ ඇවිත් හොඳට පුහුණුවීමක් කළා. ගොඩක් මහන්සි වුනා. මේ වගේ දක්ෂතාවක් දක්වන්නට ලැබුණේ ඒ කැපවීම නිසා කියලයි මගේ විශ්වාසය,” පුලින වෙල්ලාලගේ ThePapare.com සමඟ තම ජයග්‍රාහී කතාව පැවසීමට ආරම්භයක් ගත්තේ ඒ ලෙසින්.

පුලින යනු වර්තමාන ක්‍රිකට් පිටියේ ආකර්ශනීය ම යොවුන් ක්‍රීඩකයා වූ දුනිත් වෙල්ලාලගේගේ බාල සොහොයුරායි. අයියා ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටක් දිනා ගනිද්දී මල්ලි බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කාගෙත් කතාබහට ලක් වූ චරිතයක් වීමට මෙවර සමත් වුනා.

ඔහු නිමා වූ බැඩ්මින්ටන් ශූරතාවලියේ දී වයස අවුරුදු 17න් පහළ ඒකල සහ යුගල ශූරතා ද්විත්වය සේ ම වයස අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල ශූරතාවත් දිනා ගැනීමට සමත් වුනා.

පුලින වයස අවුරුදු 17න් පහළ යුගල ඉසව්වට සහභාගී වෙන්නේ තම පාසලේ ම ශෙනුක් සමරරත්න සමඟින් වන අතර මිශ්‍ර යුගල ඉසව්වට සහභාගී වෙන්නේ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ රශ්මි භාග්‍යා මුදලිගේ සමඟින්.

මෙම දක්ෂතාවයට අමතර ව ඔහු පිරිමි විවෘත තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටත් සමත් වුනා. එම වටයේ තරගයේ දී ඔහු මෙවර ජාතික ශූරයා වූ බුවනෙක ගුණතිලක වෙතිනුයි පරාජයට පත් වෙන්නේ.

මුහුණ දුන් කිසිම තරගයක් පහසු වුනේ නැහැ. එහෙම පහසුවට ගත්තෙත් නැහැ. හැම තරගයක දී ම උපරිම දක්ෂතා දක්වමින් ඉදිරි වටය නියෝජනය කරන්නයි සැලසුම තිබුණේ. අපේ ඒ අභිප්‍රායන් සාර්ථක වුනා,” පුලින පැවසුවා.

පුලින බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙන්නේ පාසලේ 2 පංතියේ සිටිය දී. ඒ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය බැඩ්මින්ටන් ඇකඩමියට එක් වෙමින්. ඒ වෙද්දී අයියා දුනිත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රිකට් ඇකඩමියේ දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසින් කලඑලි බසිමින් සිටි කාලය.

අයියත් එක්ක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඕන කියන ආසාවෙන් සිටිද්දී තමයි මාව බැඩ්මින්ටන් ඇකඩමියට තෝරා ගත්තේ. පස්සෙ කාලෙක දී හරි අයියත් එක්ක ක්‍රිකට් ගහන්න එක් වෙනවා කියන අදහසෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට එක් වුනා. ඒත් ටික කාලයක් යද්දී ක්‍රිකට් ක්‍රීඩාව ඉබේ ම මගේ හිතෙන් අයින් වුනා. ගෙදරිනුත් කිව්වේ අයියා ක්‍රිකට් ගහන නිසා මට දිගට ම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වෙන්න කියලයි.”

ඒ අනුව බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වෙන පුලිනගේ පළමු පුහුණුකරු වන්නේ දුමින්ද නිරෝෂන් මහතා. වසරකට වැඩි කාලයක් එසේ පුහුණුවීම් කළ පුලින තමන් මුහුණ දුන් පළමු බැඩ්මින්ටන් තරගාවලියේ දී ම අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙනවා.

එතකොට මම මට මතක විදිහට හිටියේ 4 පංතියේ. වයස අවුරුදු 11න් පහළ ඉසව්ව නියෝජනය කළේ. ඒ තරගයෙන් පස්සේ පැවති ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ දී මට පළමු 4 දෙනා අතරට එන්න හැකි වෙනවා.”

එය පුලිනගේ බැඩ්මින්ටන් ගමන මඟ හෙළි කරන මාලිමාවක් බවට පත් වුනා. එතැන් සිට පුලින කුසලාන ලබා දෙන ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය වුනා.

අයියා දැන් ප්‍රසිද්ධ වුනාට ඒ දවස්වල ක්‍රීඩාවෙන් ඉදිරියෙන් හිටියේ මම. අයියා වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරද්දී මම වයස අවුරුදු 11න් පහළ ක්‍රීඩා කළේ. අයියා සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ක්‍රීඩා කළ අවසන් වසරේ දී මම 11න් පහළ පළමු වසරේ ක්‍රීඩකයෙක්. ඒ අවුරුද්දේ මම බැඩ්මින්ටන් ශූරතා 6ක් දිනා ගන්නවා. අයියලත් ඒ අවුරුද්දේ ක්‍රිකට් අනුශූරතාව දිනා ගත්තා.”

පුලිනගේත්, දුනිත්ගේත් දක්ෂතා නිවැසියන්ට ගෙන දුන්නේ විශාල උත්ප්‍රෙරණයක්. මේ නිසා කුමන අමාරුකම් තිබුනත් ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු මෙන් ම අධ්‍යාපන කටයුතු ද උසස් ම අයුරින් පවත්වා ගෙන යෑමට ඔවුන් උත්සාහ කළා.

අපි දෙමාපියන් ලෙසින් මේ දෙන්නට වගේ ම පොඩි පුතාටත් ඔයාල මේ ක්‍රීඩාව කරන්න ඕන කියල බල කරල කියල නැහැ. ලොකු පුතා දුනිත්, ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නේ ඇකඩමියේ පුහුණු සැසියකට ගිහිල්ලා ඉන් තේරෙන නිසා. දෙවැනියත් එහෙමයි. දැන් මේ දවස්වල පොඩි පුතාත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. එයත් ඒ ආකාරයට ම තේරිලා තමයි ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩාවට ඔවුන් විශාල උනන්දුවක් දක්වනවා. ඒ වෙනුවෙන් විශාල ලෙස වෙහෙස වෙනවා,” පුලිනගේ පියා සුරංග වෙල්ලාලගේ ThePapae.com සමඟ කතා බහට එක් වෙමින් පැවසුවා.

පුලිනගේ බාල සහෝදරයා චමත් වෙල්ලාලගේ මේ වෙද්දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. ඔවුන්ගේ මව හර්ෂනී ප්‍රනාන්දු මේ සියල්ල කළමනාකරණය කිරීමේ රුසියෙක් බවයි සුරංග පවසන්නේ.

දෙමාපියන් ලෙස අපි මේ තුන් දෙනාගෙම ක්‍රීඩාවන්වලට වගේ ම අධ්‍යාපනයටත් අපිට පුළුවන් දේ අපි කරනවා. දරුවන්ගේ දක්ෂතා දකිද්දී අපි ඉතා ආසාවෙන් මේ දේවල්වලට මැදිහත් වෙමින් කටයුතු කරනවා,” සුරංග වෙල්ලාලගේ මහතා නැවත පැවසුවා.

පුලින තමන් නියෝජනය කරන ලද වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ සෑම වයස් කාණ්ඩයක ම ඒකල, යුගල ශූරතා විශාල ප්‍රමාණයක් දිනා තිබෙනවා. ඔහු පසුගිය වසරේ ද වයස අවුරුදු 17න් පහළ ශූරයා බවට පත් වුනා.

පුලින ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. කැපවීමත් හැකියාවත් මඟින් දිගු ගමනක් යන්න පුළුවන් ක්‍රීඩකයෙක්. සහභාගී වෙන සෑම තරගයක දී ම මොකක් හරි යමක් කරන්නයි ඔහු උත්සාහ කරන්නේ. අනාගතයේ දී බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් ජවසම්පන්න ක්‍රීඩකයෙක් ලෙසින් ඔහුව හඳුන්වන්න පුළුවන්,” සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ බැඩ්මින්ටන් පුහුණුකරු ඉරේෂ් ද සිල්වා මහතා ThePapare.com සමඟ පැවසුවා.

පුලිනගේ පළමු බැඩ්මින්ටන් පුහුණුකරු දුමින්ද නිරෝෂන් මහතාගේ සහාය පුහුණුකරු ලෙසින් කාලයක් කටයුතු කළ ඉරේෂ්, නිරෝෂන් මහතාගේ ඉවත් වීමත් සමගින් සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ බැඩ්මින්ටන් පුහුණුකරු බවට පත් වුනා.

මම පුංචි දවස්වල සිට ම බැඩ්මින්ටන් පුහුණු වෙන්නේ දුමින්ද නිරෝෂණ සර් යටතේ. අදටත් මගේ පෞද්ගලික බැඩ්මින්ටන් පුහුණුකරු දුමින්ද සර්. ඔහුගෙන් ලැබෙන ගුරුහුරුකම් බොහෝමයි. ඒ වගේ ම පාසලේ පුහුණුකරු ඉරේෂ් ද සිල්වා සර්. ඔවුන් දෙදෙනා යටතේ ලබන පුහුණුවීම් සමඟින් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම පාසලේ විදුහල්පති සංජීව මෙන්ඩිස් පියතුමා විශාල සහයෝගයක් දක්වනවා. එතුමා පෞද්ගලිකව අපි ගැන සොයා බලමින් අපිට අවශ්‍ය සෑම දෙයක් ම ලබා දෙමින් අප ව උනන්දු කරනවා,“ පුලින පැවසුවා.

ඒ උනන්දුව සහ කැපවීම හේතුවෙන් ම සාන්ත සෙබස්තියන් විද්‍යාලය පසුගිය වසර කිහිපයේ ම බැඩ්මින්ටන් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දක්වන කණ්ඩායමක් බවට පත් වුනා. පුලින එහි ප්‍රධාන නියමුවෙක්.

ක්‍රීඩාවේ දී වගේ ම අනෙකුත් දේවල්වලදීත් අයියා තමයි තාත්තා වගේ හැම දෙයක් ම කරන්නේ. ලොකු සහයෝගයක් ලබා දෙනවා. ගෙදර හැමෝම ක්‍රීඩා කරන නිසා වැඩි හරියක් ම කතාවත් ක්‍රීඩාව ගැන ම තමයි. තාත්තත් හිටපු ක්‍රීඩකයෙක් නිසා මේ තත්ත්වය තවත් වැඩියි. ගෙදර TV බැලුවත් ස්පෝට්ස් චැනල් එකක් බලන්නේ. මේ නිසා අපේ ගෙදර ම ක්‍රීඩාව තමයි.”

දුනිත්, පුලින, චමත් තිදෙනා ම ක්‍රීඩාවේ නියැලෙන බැවින් ගෙදර රැඳී සිටින කාලයන් සීමිත බවයි ඔවුන් පවසන්නේ. මේ නිසා ම මව සහ පියා ද ඔවුන් කවුරුන් හෝ සමඟ දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ක්‍රීඩාංගණයක. මේ කාර්ය බහුලත්වය සෑම දිනක ම සිදුවන දෙයක්. එසේ වූවත් ඔවුන් ඒ දේ ට සතුටින් මුහුණ දෙනවා.

අපේ ලෝකය ඉතිං මේ තුන්දෙනා තමයි. ලොකු පුතා නම් දැන් හොඳ ගමනක් ගිහින් තියෙන්නේ. දෙවැනියත් ඒ ඉලක්කයට ළඟා වෙමින් ඉන්නවා. පොඩි පුතා  අනාගතයේ දී ඒ තත්ත්වයට ඒවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. පාසල් දෙකෙන් ම ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. අපිත් ඔවුන්ට හැකි හැම දේ ම ලබා දෙමින් ඔවුන්ගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා,” සුරංග වෙල්ලාලගේ මහතා නැවත පැවසුවා.

ඒ අනුව යන ගමනේ දී පුලිනටත් වැඩි වගකීමක් දරන්න සිදු වෙනවා.

බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ලෙසින් මේ ආ ගමන ගැන තෘප්තිමත්. ඉදිරියේ දී තවත් බොහෝ දුරක් යන්න තියෙනවා. අනාගතයේ දී බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් රට දිනවන එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් කැප වෙනවා,” පුලින වෙල්ලාලගේ ThePapare.com පැවසුවා.

ලෝකයක් දිනා ගනිමින් රට බැබළවීමට පෙරුම් පුරන පුලින වෙල්ලාලගේට Thepapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<