මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා වාර්තාගත සහභාගීත්වයක්

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 2022

253

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන “2022 ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය” එළඹෙන 16 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය සහ 38 වැනි පාසල් බැඩ්මින්ටන් ශූරතාවය එකට ඒකාබද්ධ කරමින් පැවැත්වීමට නියමිත මෙම ජාතික ශූරතාවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ ක්‍රීඩාගාරය සහ වෙළඳසේවා ක්‍රීඩා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, පසුගිය වසරේ දී මෙරට පැවති විවිධ ගැටලුකාරී තත්වයන් නිසාවෙන් සංවිධානය කිරීමට නොහැකි වූ තරගාවලියේ, මෙවර අදියර සඳහා වාර්තාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වීමයි.

කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ මෙන්ම ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙවර තරගාවලිය සඳහා 1,700කට ආසන්න අයැදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති අතර වයස අවුරුදු 40න් ඉහළ කාන්තා සහ පිරිමි තරග අංශය සඳහා ද අයැදුම්පත් 84ක් පමණ ලැබී තිබීම විශේෂත්වයක්.

තරගාවලියේ පාසල් අංශය සඳහා දිවයින පුරා විසිරි ඇති බැඩ්මින්ටන් ක්‍රීඩා කරනු ලබන පාසල් 10,447 අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,000කට ආසන්න ප්‍රමාණයක් මූලික වටයේ පැවති තරග (මීට මාස දෙකකට පමණ ඉහත දී පවත්වා අවසන් කරන ලද තරග) සඳහා සහභාගී වී ඇති අතර ඉන් තෝරාගනු ලැබූ 1,200 පමණ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් කේවල මෙන්ම කණ්ඩායම් ඉසව් ඔස්සේ ජාතික ශූරතාවය සඳහා පුරා දින 7ක් තිස්සේ තරග වැදීමට නියමිතයි.

තරගාවලිය සඳහා නවක මෙන්ම ජ්‍යේෂ්ඨ තරග විනිසුරුවන්, විනිශ්චයකරුවන් ඇතුළු සමස්ත නිලධාරීන් 160ක් යෙදවීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.

තරගාවලියේ පාසල් අංශයේ තරග 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ ලෙස කාණ්ඩ 5ක් යටතේ බාලක සහ බාලිකා ලෙස පැවැත්වීමට නියමිතයි. එමෙන්ම 30න් ඉහළ, 35න් ඉහළ සිට 70 දක්වා වයස් කාණ්ඩ 15ක් ඔස්සේ පැවැත්වීමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 40ක්.

ඊට අමතරව ජාත්‍යන්තරය නියෝජනය කළ ක්‍රීඩකයින් ඒකරාශී කර ගනිමින් නවමු ආරක ඉසව් ගණනාවක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා දිනුක කරුණාරත්න, විරේන් නෙත්තසිංහ, දුමිඳු අබේවික්‍රම මෙන්ම අවසන් වරට පැවති තරගාවලියේ දී අවසන් මහා තරගයට පිවිසි රසිඳු හෙන්දහේවා මෙන්ම බුවනෙක ගුණතිලක, රන්තුෂ්ක කරුණාතිලක, තිළිණි හෙන්දහේවා, කාවින්දි සිරිමාන්නගේ, රනිත්මා ලියනගේ සහ පංචාලි අධිකාරි වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිතයි.

>> මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේ ඡායාරූප ඇල්බමය <<

තරගාවලියේ දී ජාතික ශූරයන්, දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමට අමතරව දක්ෂතම පාසල තේරීම සඳහා ද සංවිධායකයින් කටයුතු කරනු ලබන අතර ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මිලියන 3කට අධික මුදල් තෑගි මෙන්ම සහතික පත්‍ර බෙදා දීමට නියමිතයි.

සහතික පත්‍ර සහ සම්මාන පිරිනැමීම 22 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මෙම තරගාවලියේ සජීව විකාශය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම Facebook ඔස්සේ ද නැරඹිය හැකි අතර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැඩ්මින්ටන් ක්‍රීඩා වෙත ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සම්මේලනය කොළඹ දිස්ත්‍රික් පාසල් සමඟ එක්ව විශේෂ බස් රථ මගින් ක්‍රීඩාංගණ වෙත ප්‍රවාහන පහසුකම් ලබා දීමට ද කටයුතු යොදා තිබෙනවා.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද (11) 80 Club of Colombo හිදි පැවැත්වූ අතර බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති රොහාන් ද සිල්වා, සම්මේලනයේ උප සභාපති රොශාන් ගුණවර්ධන, පාසල් බැඩ්මින්ටන් සම්මේලනයේ ලේකම් මාලිකා වඩුගේ, තරගාවලි අධ්‍යක්ෂ රෝහණ ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟින් අනුග්‍රාහක ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් මෙන්ම මාධ්‍යවේදීන් මෙම හමුව සඳහා සහභාගී වී සිටියා.

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<