Java Lane ජය ගනිද්දී, St. Mary’s සහ Saunders තරගය සමයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

148

ශූරයින්ගේ ලීගයේ 8 වැනි සතියේ තවත් තරග දෙකක් අතර මාලිගාපිටිය සහ සුගතදාස ක්‍රීඩාංගණවල දී ක්‍රියාත්මක වුනා.

එහි දී Java Lane විසින් Crystal Palace පරාජය කරද්දී St. Mary’s සහ Saunders අතර තරගය සමව නිමාවට පත්වුනා.

St. Mary’s SC සහ Saunders SC

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වුනේ කණ්ඩායම් දෙකම ගෝල 3 බැගින් වාර්තා කරමින් ජය පරාජයෙන් තොරවයි.

තරගය ආරම්භ වී 9 වැනි මිනිත්තුවේ දී ම ගෝලයක් වාර්තා කරන්නට St. Mary’s නායක Mariyathas Nitharsan සමත් වුනා. ඉන් අනතුරුව 18 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ St. Mary’s ක්‍රීඩක Anthony Charles ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා.

පළමු අර්ධයේ අවසානයට ආසන්න වන තෙක් නිහඬව සිටි Saunders ක්‍රීඩකයින් ගෝල රැස්කිරීම ආරම්භ කරන්නේ 34 වැනි මිනිත්තුවේ දීයි. නායක ඉන්ද්‍රීව උදාර විසින් සාර්ථක කර ගත් එම ගෝලයෙන් පසුව Sundaraj Niresh විසින් තවත් ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධය අවසන් කළේ ගෝල 2-2ක් ලෙස තරගය දෙපිලටම විවර කරමින්.

දෙවැනි අර්ධය ආරම්භ වී 58 වැනි මිනිත්තුවේ දී Saunders ක්‍රීඩක සංජුක ප්‍රියදර්ශන විසින් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ සිය කණ්ඩායම වෙත නතු කළා.

නමුත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව එනම් 67 වැනි ක්‍රියාත්මක වූ Sebamalainayagam Gnanaruban විසින් ගෝලයක් වාර්තා කරමින් St. Mary’s ලකුණු පුවරුව ද සම මට්ටමට රැගෙන ආවා.

කෙසේ නමුත් ඉන්පසුව කණ්ඩායමේ දෙකේම ක්‍රීඩකයින් හට ලකුණු පුවරුව වෙනස් කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 3 – 3 Saunders SC

ගෝල ලාභීන්:

  • Mary’s – Mariyathas Nitharsan (9’), Anthony Charles (18’), Sebamalainayagam Gnanaruban (67’)
  • Saunders – ඉන්ද්‍රීව උදාර (34’), Sundaraj Niresh (43’), සංජුක ප්‍රියදර්ශන (58’)

Crystal Palace SC සහ Java Lane SC

ගෝල 4-2ක් ලෙස Java Lane ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින් අවසන් වුන මෙම තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

14 වැනි මිනිත්තුවේ දී ප්‍රථමයෙන් ලකුණු පුවරු ක්‍රියාත්මක කිරීමට සමත් වුනේ Java Lane ක්‍රීඩක මාලක පෙරේරා විසිනුයි. 14 වැනි මිනිත්තුවේ දී ඔහු විසින් වාර්තා කළ එම ගෝලයට පසුව පළමු අර්ධයේ අවසානයට මොහොතක් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා වුනේ නැහැ.

නමුත් 42 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Oluwaseeun Olawale විසින් සාර්ථකව පන්දුවක් දැල් ගත කරන්නට සමත් වූ අතර පළමු අර්ධය අවසන් වුනේ 2-0ක් ලෙස Java Lane පෙරමුණ ගනිමිනුයි.

දෙවැනි අර්ධය ආරම්භයේ දී ම දඬුවම් පහරක් Java Lane වෙත හිමි වූ අතර Olawale විසින් එය සාර්ථක කර ගත්තේ 3-0ක් ලෙස ලකුණු පුවරුව ඉහළ දමමින්.

ඉන් අනතුරුව Crystal Palace වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කරන්නට Basith Ahmed සමත් වුනේ 64 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව Java Lane ක්‍රීඩක නවීන් ජූඩ් විසින් ලකුණු පුවරුව 4-1ක් දක්වා ඉහළ දමන්නට සමත් වුනා. ඒ 70 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ නමුත් 70 වැනි මිනිත්තුවේ දී ම Crystal Palace වෙත දඬුවම් පහරක් හිමි වූ අතර Jimoh Ibrahim විසින් එය සාර්ථක කර ගත්තේ සිය කණ්ඩායමේ ගෝල ගණන 2ක් දක්වා ඉහළ දමමින්.

කෙසේ නමුත් තරගයේ ඉන්පසුව ගෝල කිසිවක් වාර්තා නොවූ අතර ගෝල 4-2ක් ලෙස ජයග්‍රහණය හිමි වුනේ Java Lane කණ්ඩායමටයි.

අවසන් ලකුණු තත්වය: Crystal Palace SC 2 – 4 Java Lane SC

ගෝල ලාභීන්:

  • Crystal Palace – Basith Ahmed (64’), Jimoh Ibrahim (70’P)
  • Java Lane – මාලක පෙරේරා (14’), නවීන් ජූඩ් (70’), Oluwaseeun Olawale (42’, 46’P)

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත ලබා දෙන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<