මොරටුවට සහ ගාල්ලට ගිය බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතා

38 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය 2022

461

38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් ශූරතා දිනා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලය පසුගිය දා සමත් වුනා.

70 වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය හා සමගාමීව පැවති මෙම තරගාවලියේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 55ක් සහ සංඝමිත්තා විද්‍යාලය ලකුණු 22ක් ලබා ගනිමින් මෙම ශූරතාවන් දිනා ගත්තා.

1500කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වූ මෙම තරගාවලි ද්විත්වය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය, වෙළඳසේවා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාගාරයේ දී  පැවතියා.

මෙම තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමේ දී වඩාත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා වූයේ වයස අවුරුදු 17න් පහළ ඉසව්ව නියෝජනය කරන පුලින වෙල්ලාලගේ. ඔහු ත්‍රිත්ව කුසලාන දිනා ගනිමින් තම කණ්ඩායමට නොසිතූ ස්ථානයකට රැගෙන ආවා.

ඔහු වයස අවුරුදු 17න් පහළ ඒකල සහ යුගල මෙන් ම වයස අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල ඉසව්වේ ද ශූරතා දිනා ගත්තා. ඊට අමතර ව ඔහු විවෘත තරගාවලියේ පිරිමි ඒකල තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර එහි දී ජාතික ශූර බුවනෙක ගුණතිලක වෙතින් පරාජයට පත්වුනා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමේ දී වයස අවුරුදු 13න් පහළ ඒකල ඉසව්වේ ජයග්‍රාහකයා වූ හසඳු ප්‍රනාන්දු සහ එම ඉසව්වේ ම යුගල ශූරයන් වූ දුවිඳු එදිරිසිංහ සහ සත්සර පුබුදු ද වැඩි දායකත්වයක් දැක්වූවා.

“අපි විශාල වෙහෙසක් දරමින් ලබා ගත් ජයග්‍රහණයක් සේ මෙය හැඳින්විය හැකි. මාස 2ක පමණ කාලයක් එක දිගට උදේ හවස අපි පුහුණුවීම් කටයුතු කළා. ළමයින්ගේ විශාල කැපවීමක් තිබුණා. ඊට දෙමාපියන් ද එක් වුනා. මේ නිසා අපිට මේ ගමන යන්න හැකි වුනා. අපි බලාපොරොත්තු වූ දේ ලැබුණා. ගොඩක් සතුටුයි,” සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය බැඩ්මින්ටන් පුහුණුකරු ඉරේෂ් ද සිල්වා මහතා ThePapare.com සමඟ පැවසුවා.

ඉරේෂ් සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟ එක්වෙමින් මේ වන අඩ දශකයට ආසන්න කාලයක් කටයුතු කරනවා. මීට පෙර සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පුහුණුකරු වූ දුමින්ද නිරෝෂණ මහතා යටතේ කටයුතු කළ ඉරේෂ් ඔහුගේ නික්ම යෑමෙන් අනතුරුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පුහුණුකරු ධුරයට පත් වෙනවා.

“අපේ කණ්ඩායමට මේ තත්වයට එන්න පාර සකසල දුන්නේ දුමින්ද නිරෝෂන් මහතා. ඒ ගැන ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම පාසලේ විදුහල්පති සංජීව මෙන්ඩිස් පියතුමා අපිට අවශ්‍ය සෑම අවශ්‍යතාවයක් ම කියන සුනංගුවෙන් සපුරනවා. ඒ ගැන විශේෂ ස්තුතියක් හිමි විය යුතුයි. ඒ වගේ ම ක්‍රීඩා භාර ආචාර්ය රන්දික අමරසිංහ මහතා සහ සහාය පුහුණුකරු උපේක් ඉන්දීප මට විශාල සහයෝගයක් දක්වනවා. ඔවුන්ගේ ද සහයෝගය මතයි අපිට මේ කුසලානය ලැබෙන්නේ,” ඉරේෂ් ද සිල්වා මහතා පැවසුවා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය මීට පෙර සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිවල දී 2017, 2018 සහ 2019 වසරේ දී මෙම ශූරතාව දිනා ඇති අතර ඊට පසුව පැවති 2022 වසරේ දී ද ශූරතාව දිනා ගනිමින් මෙම ශූරතාව පිට පිට 5 වතාවක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ජයග්‍රාහී ගමන් මඟ
වයස් කාණ්ඩය ඉසව්ව ක්‍රීඩකයන් ලැබූ ස්ථානය
1 වයස අවුරුදු 13න් පහළ ඒකල හසඳු ප්‍රනාන්දු ශූරතාව
දුවිඳු එදිරිසිංහ සිව්වැනි ස්ථානය
යුගල දුවිඳු එදිරිසිංහ ශූරතාව
සත්සර පුබුදු
නිතේශ් ප්‍රනාන්දු තෙවැනි ස්ථානය
ෂෙරාන් කවීෂ
2 වයස අවුරුදු 17න් පහළ ඒකල පුලින වෙල්ලාලගේ ශූරතාව
තිළිණ රාජකරුණා අනුශූරතාව
යුගල පුලින වෙල්ලාලගේ ශූරතාව
ෂෙනුක් සමරරත්න
සංජුල හඳපාන්ගොඩ අනුශූරතාව
තිළිණ රාජකරුණා
3 වයස අවුරුදු 19න් පහළ ඒකල ලෙහාන් අන්ද්‍රාහෙන්නදි සිව්වැනි ස්ථානය
4 වයස අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල පුලින වෙල්ලාලගේ ශූරතාව
රශ්මි භාග්‍යා මුදලිගේ
ෂෙනුක් සමරරත්න අනුශූරතාව
සිතුකි ඔනාදි
තිළිණ රාජකරුණා තෙවැනි ස්ථානය
වරංගනා හිම්සරණි
සංජුල හඳපාන්ගොඩ සිවුවැනි ස්ථානය
එච්. ජී. සඳති

තරගාවලියේ බාලිකා කණ්ඩායම් ශූරතාව ගාල්ල සංඝමිත්තා විද්‍යාලය දිනා ගැනීමේ දී වඩාත් දක්ෂතා දක්වන්නේ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්.

ඔවුන් එම වයස් කාණ්ඩයේ යුගල ශූරතාව මෙන් ම තෙවැනි ස්ථානය ද දිනා ගනිද්දී, ඒකල ඉසව්වේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන ද දිනා ගන්නවා.

“වයස අවුරුදු 19න් පහළ ඉසව්ව වෙද්දී අපි හිටියේ ඉතා පහළ මට්ටමක. නමුත් එම වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා හේතුවෙන් අපිට මේ ශූරතාවට හිමිකම් කියන්න හැකි වුනා,” ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පුහුණුකරු සුභාෂ් ජානක මහතා ThePapare.com සමඟ එක්වෙමින් පැවසුවා.

ඔවුන් මෙම තරගාවලියට එක්වීමේ දී වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාවත්, ජාතික පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ ශූරතාවත් සහ එම තරගාවලියේ ම වයස අවුරුදු 20න් පහළ ඉසව්වේ අනුශූරතාවත් දිනා ගැනීමට සමත්ව සිටියා.

“එම තරගාවලිවල දී ලැබූ ජයග්‍රහණය මෙම තරගාවලියේ දී අපිට විශාල පන්නරයක් වුනා. ඒ වගේ ම තරගාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩිකාවන් පෙර පුහුණුවීම් කටයුතු වෙනුවෙන් සහභාගී වෙමින් දැක්වූ දායකත්වය මේ කණ්ඩායම් ජයග්‍රහණයට විශාල ලෙස බලපෑවා,” සුභාෂ් ජානක මහතා පැවසුවා.

සංඝමිත්තා විද්‍යාලයීය ජයග්‍රාහී ගමන් මඟ
වයස් කාණ්ඩය ඉසව්ව ක්‍රීඩිකාවන් ලැබූ ස්ථානය
1 වයස අවුරුදු 15න් පහළ ඒකල පවනි ඉලේපෙරුමාච්චි සිව්වැනි ස්ථානය
යුගල සනිතු ගුරුසිංහ ශූරතාව
පවනි ඉලේපෙරුමාච්චි
2 වයස අවුරුදු 19න් පහළ ඒකල ජයෝදා චනුශි තෙවැනි ස්ථානය
ලවන්දි උමගිලියගේ සිව්වැනි ස්ථානය
යුගල තිසුනි ලියනාරච්චි ශූරතාව
සෙනුදි උමගිලියගේ
මිතාරා දෙව්මි තෙවැනි ස්ථානය
තෙව්නි විජේසූරිය

38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ දක්ෂතා දැක්වූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<