රනිත්මා සහ බුවනෙක ජාතික බැඩ්මින්ටන් කිරුළු දිනයි

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

333

දින 7ක් පුරාවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය, වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති 70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයේ අවසන් තරග ඊයේ (23) පැවැත්වුණා.

තරගාවලියේ කනිෂ්ඨ අංශයේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ගම්පහ සුමේධ විදුහලේ යෝෂිත සිල්වා විසින් දිනා ගත් අතර නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ විදුර විදුහලේ අනුත්මි සූරියබණ්ඩාර විසිනුයි.

කනිෂ්ඨ අංශයේ පිරිමි සමස්ත ලංකා ශූරතාවය ලකුණු 59ක් දිනා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හිමි වෙද්දී කනිෂ්ඨ බාලිකා ශූරතාවය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට හිමි වුනා.

විවෘත කාණ්ඩයේ පිරිමි ඒකල ශූරතාවය සඳහා වූ අවසන් තරගයෙන් විරෙන් නෙත්තසිංහ 21-16ක් සහ 21-18ක් ලෙස පරදවමින් ජාතික කිරුළ රැක ගැනීමට වත්මන් ශූර බුවනෙක ගුණතිලක සමත් වුනා.

මධුශිකා බේරුවලගේ 21-08ක් සහ 21-16ක් ලෙසින් පරාජය කරමින් විවෘත කාන්තා ශූරතාවය දිනා ගැනීමට රනිත්මා ලියනගේ සමත් වුනා.

කාන්තා කාණ්ඩයේ යුගල ශූරතාවය කාවින්දි සිරිමාන්න සහ රනිත්මා ලියනගේ විසින් දිනා ගැනීමට සමත් වුනේ තරග වට 2-0ක් (21-09ක් සහ 21-14ක්) ලෙස අශිනි ගමගේ සහ දිල්රුක්ෂි බේරුවලගේ පරාජය කරමිනුයි.

එම කාණ්ඩයේ පිරිමි තරගය 21-16ක් සහ 21-11ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සචින් ඩයස්ට සහ බුවනෙක ගුණතිලකට හැකි වුනා.

ශෙනුක් සමරත්න සහ සිතුකි ඔනාදි තරග වට 3-1ක් ලෙසින් පරාජය කරමින් මිශ්‍ර ශූරතාවය දිනා ගැනීමට සමත් වුනේ පුලින වෙල්ලාලගේ සහ රශ්මි භාග්‍යාට හැකි වුනා.

>> තරගාවලියේ සමස්ත ප්‍රතිඵල සටහන <<

මෙම තරගාවලියේ අවුරුදු 30ට වැඩි සහ 65ට වැඩි වයස් කාණ්ඩවල ඒකල, යුගල මිශ්‍ර තරග පැවැත්වූ අතර මෙම ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග, පදක්කම් සහ සහතික පත් ප්‍රදානය ක්‍රීඩා අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<