බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අලුත් ම ශූරිය – රනිත්මා

538

70 වැනි ජාතික විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ශූරිය ලෙස අභිශේක ලැබීමට බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ 16 හැවිරිදි වියේ පසුවන රනිත්මා ලියනගේ සමත් වූවා. ඇය ජාතික ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර 2021 වසරේ දී පැවති 69 වැනි ජාතික විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනූ ඇය, එම අගය කිරීම මෙම ජයග්‍රහණයත් සමඟින් වඩාත් සාධාරණීකරණය කළා.

අවසන් වරට පැවති තරගාවලියේ දී මම විවෘත කාන්තා ඒකල ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. ඒ පරාජයත් සමඟින් මේ ජයග්‍රහණය මම බලාපොරොත්තුවෙන් සිටි දෙයක්. ඒ වෙනුවෙන් පසුගිය කාලයේ ගොඩක් මහන්සි වෙමින් පුහුණුවීම් කළා.  පුහුණුකරුවන්, ගෙදර අය වගේ ම හිතවත් බොහෝ දෙනෙක් ද මගෙන් බලාපොරොත්තු වූ දෙයක් මේ. ඔවුන්ගේ බලාපොරොත්තු වගේ ම මගේ බලාපොරොත්තුවත් ඉටු කරන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා,” රනිත්මා ලියනගේ ජයග්‍රහණයේ උණුසුම ThePapare.com සමඟ බෙදා ගත්තේ ඒ ආකාරයෙන්.

නිමා වූ තරගාවලියේ දී රනිත්මා විවෘත කාන්තා ඉසව්වේ පළමු වටයේ දී නිතරගයෙන් දෙවැනි වටයට උසස් වීමක් ලබා ගන්නවා. ඒ අනුව ඇය හා හා පුරා කියා දෙවැනි වටයේ දී තරග වදින්නේ ඒ. සූරියබණ්ඩාර සමඟ. එම තරගයේ දී 21-6ක් සහ 21-4ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇය සමත් වෙනවා.

ඉන් අනතුරුව මල්කි ප්‍රබෝධා සමඟ තරග වදින ඇය එම තරගයෙන් 21-2ක් සහ 21-3ක් ලෙසින් නැවතත් පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.

එම වටයේ දී ඇය 21-13ක් සහ 21-13ක් ලෙසින් භාග්‍යා මුදලිගේ පරාජය කිරීමට සමත් වෙනවා. ඒ අනුව අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නා ඇය, එහි දී හිම්සරණි ජයවර්ධන 21-18ක් සහ 21-10ක් ලෙසින් පරාජය කරමින් පළමු වරට විවෘත කාන්තා අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

එහි දී ඇයගේ ප්‍රතිවාදිනිය වන්නේ දිල්රුක්ෂි බේරුවලගේ. එම තරගයේ දී ඇය 21-8ක් සහ 21-16ක් ලෙස ප්‍රතිවාදිනිය පරාජය කරමින් 70 වැනි බැඩ්මින්ටන් ජාතික ශූරිය ලෙසින් අභිෂේක ලැබීමට සමත් වෙනවා.

ඊට අමතර ව ඇය ඉෂාදිකා සිරිමාන්නගේ සමඟ එක් වෙමින් විවෘත යුගල කාන්තා ඉසව්වේ ශූරතාව ද, එම තරගාවලියට සමගාමීව පැවති 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 17න් පහළ බාලිකා ඉසව්වේ ඒකල ශූරතාවත් දිනා ගැනීමට සමත් වෙනවා.

මේ සෑම තරගයක දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් මට අභියෝගයක් වෙන්න කලින් මම ඔවුන්ට අභියෝගයක් වුනා. ඒක මගේ ජයග්‍රහණයට පහසුවක් වුනා,” රනිත්මා තම ජයග්‍රාහී ගමනේ පසුබිම පැහැදිලි කරමින් පැවසුවා.

රනිත්මා, බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් ලෙසින් කලඑලි බසින්නේ කුඩා කාලයේ දීමයි.

රනිත්මාගේ පියා අනුර ලියනගේ, ස්වයං රැකියාවක නියැලෙන්නෙක්. ඔහු තම බිරිඳ ගීතා සූරියආරච්චි සමඟ එක් වෙමින් පාසල් බෑග් මසමින් ඒවා වෙළඳපොළට ලබා දෙමිනුයි පවුල නඩත්තු කරන්නේ.

තිදෙනෙක්ගෙන් යුත් ඔවුන්ගේ පවුලේ රනිත්මා බාලයා. ඇයට වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. ලොකු අයියා අභිශේක් ප්‍රමුදිත, මොරටු විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන අතර පොඩි අයියා සෙනුජ රන්සික, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගනුම ලබනවා.

රනිත්මාගේ පුංචි කාලෙ ගෙවිල යන්නේ අයියලා දෙන්නත් සමඟ ගෙදර දෙවනත් කරන සෙල්ලම්වලින්. ඔය සෙල්ලම් අතර කලාතුරකින් බැඩ්මින්ටන් ක්‍රීඩාව ද කෙරෙනවා. ඒත් ඉතිං රනිත්මාට නම් වැඩි වේලාවක් සෙල්ලම් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අයියලා දෙන්නා තමයි ගෙදර බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අයිතිකාරයන් වුනේ.

එහෙම සෙල්ලම් කර කර ඉන්දැද්දි තමයි මම පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට තෝරා ගන්නේ. එතකොට මම දෙකේ පංතියේ. පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩාව කරන්න ළමයි තෝරගන්න පංති ගානේ ළමයි හොයාගෙන ආවා. එහෙම ආපු වෙලාවේ තමයි මැඩම් මාව බැඩ්මින්ටන් ක්‍රීඩාවට සුදුසුයි කියලා තෝරා ගත්තේ.”

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය කේ. කේ. කේ. කොඩිතුවක්කු මහත්මියගේ එදා තෝරා ගැනීම අද වඩාත් ඵලදායි වී තිබෙනවා. ඒ බද්දේගම ක්‍රිස්තුදේවයට පමණක් නොවේ ශ්‍රී ලංකාවම බැබළවීමට හැකි ක්‍රීඩිකාවක් හඳුන්වා දීමෙන්.

රනිත්මා, ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සමඟ

බැඩ්මින්ටන් ක්‍රීඩාව වගේ ම අධ්‍යාපනයත් කරගෙන යන්න මැඩම් ගොඩක් උදව් කළා. අදටත් මැඩම් මගේ ජයග්‍රහණවල දී මෙන් ම පරාජයන්වලදීත් ළඟින් ම ඉන්නවා. ඒක මට වගේ ම අපේ ගෙදර හැමෝටමත් ලොකු ශක්තියක්.”

රනිත්මා බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිස සහභාගී වූ පළමු තරගාවලියේ දී ම පදක්කමක් දිනා ගැනීමට සමත් වෙනවා. ඒ 2016 වසරේ පැවති දකුණු පළාත් කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ දී වයස අවුරුදු 11න් පහළ අනුශූරතාව දිනා ගනිමින්. ඒ වෙද්දී ඇයට වයස අවුරුදු 9යි.

එතැන් සිට එම වසරේ පැවති SSC සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය, ආරියදාස සිල්වා අනුස්මරණ සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය, උතුරු නැගෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලිය, ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සහ Summer Season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය යන තරගවල දී වයස අවුරුදු 11න් පහළ ශූරිය වන්නේ ඇයයි.

ඉන් නොනැවතෙන ඇය ඊට පසු 2017 වසරේ දී පැවති SSC සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය, උතුරු නැගෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලිය, Summer Season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සහ ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ දී වයස අවුරුදු 11න් පහළ ශූරිය බවට පත් වෙනවා.

අනතුරුව ඇය 13න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන අතර එහි දී උතුරු නැගෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ දී යුගල ශූරතාව ද, 66 වැනි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ඒකල සහ යුගල ශූරතා ද, SSC සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ඒකල සහ යුගල ශූරතා ද සහ ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ යුගල ශූරතාව ද දිනා ගැනීමට සමත් වෙනවා.

“2019 අවුරුද්දේ මම පනාගොඩ දී පැවති Defender’s විවෘත තරගාවලියට වයස අවුරුදු 15න් පහළ ඉසව්වේ ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කරනවා. එතකොටත් මට අවුරුදු 13න් පහළ ක්‍රීඩා කරන්න පුළුවන්. මේ ජයග්‍රහණයත් එක්ක මම වයස අවුරුදු 15න් පහළ ඒකල සහ යුගල අංක 1ට ශ්‍රේණිගත වෙනවා.”

ඒ ශ්‍රේණිගත කිරීමත් සමගින් ඇයට ඉන්දුනීසියාවේ පැවති ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වෙනවා.

ඒ තරගාවලියේ දී මට කිසිදු ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වෙනවා. මට ලැබුණ පළමු තරගයේ දී ම මම කොරියන් ක්‍රීඩිකාවක් වෙතින් පරාජය වෙනවා. ඇය අවසන් පූර්ව වටය දක්වා පැමිණි ක්‍රීඩිකාව. ඒත් ඒ ලැබූ අත්දැකීම් අදටත් මට ගොඩක් වටිනවා.”

අනතුරුව ඇයගේ දක්ෂතා ගොනු වෙන්නේ වයස අවුරුදු 13න් පහළ ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය – 2019 ශූරතාව සහ එම තරගාවලියේ ම වයස අවුරුදු 17න් පහළ යුගල ඉසව්වේ ශූරතාව, සහ Lanka Shuttle Challenge League තරගාවලියේ කනිෂ්ඨ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙසින් සම්මානය පාත්‍ර වෙමින්.

ඊට පස්සේ කොරෝනා වසංගතය සහ වෙනත් හේතු නිසා වසර 2ක් විතර තරග තිබුණේ නැහැ. නැවතත් අපි තරගාවලියකට එක් වෙන්නේ 2021 වසරේ දී.”

ඒ අනුව සහභාගී වූ පළමු තරගාවලිය වූ නුවරඑළිය Summer Season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ දී ඒකල ඉසව්වේ ඇය අවසන් පූර්ව දක්වා පැමිණීමට සමත් වෙනවා. අනතුරුව ඉන්දියාවේ දී පැවති Infosys Foundation විවෘත ඉන්දියා ජාත්‍යන්තර ශූරතාවලිය වෙනුවෙන් විවෘත කාන්තා ඒකල ඉසව්ව සඳහා සහභාගී වූවද, ඇයට එහි දී ද ජාත්‍යන්තර ජය ගැනීමට හැකි වෙන්නේ නැහැ.

නැවත දේශීය පිටියට පිවිසෙන රනිත්මා 69 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ දී වයස අවුරුදු 15න් පහළ ශූරතාව ද, විවෘත කාන්තා ඉසව්වට සහභාගී වෙමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමින් තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව ලෙසින් ද සම්මාන දිනා ගන්නවා.

අනතුරුව 2022 වසරේ පැවති පළමු තරගාවලිය වූ දකුණු පළාත් සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ දී විවෘත ශූරිය ලෙසින් අභිශේක ලැබීමට ඇය සමත් වෙන අතර නුවරඑළිය Summer Season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ දී නැවත වතාවක් විවෘත ශූරිය බවට පත් වෙනවා.

ඊට පස්සේ ඉන්දියාවේ පැවති තරගාවලි 4කට සහභාගී වෙනවා. ඉන් පළමුවෙන් පැවති ඉන්දියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී වගේ ම CM කුසලාන ඉන්දීය ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී ද විවෘත අංශයෙන් සහභාගී වූවත් මට ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඊට පසුව පැවති තරගාවලියේ දී මම පදක්කම් 4ක් දිනා ගන්නවා.”

ඒ අනුව ඇය එහි දී දකුණු ආසියානු කලාප කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ දී වයස අවුරුදු 17න් පහළ ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ඉසව්වේ ලෝකඩ කුසලාන දිනා ගැනීමට සමත් වෙන අතර  දකුණු ආසියානු කලාප කනිෂ්ඨ මිශ්‍ර කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ දී එම වයස් කාණ්ඩයේ ම රිදි පදක්කම දිනා ගන්නවා.

ඉන් අනතුරුව ස්පාඤ්ඤයේ පැවති ලෝක කනිෂ්ඨ මිශ්‍ර කණ්ඩායම් තරගාවලියට සහභාගී වෙන ඇය එහි දී 20 වැනි ස්ථානයත්, එම තරගාවලියේ ම ඒකල ඉසව්වේ වයස අවුරුදු 19න් පහළ ඉසව්වේ සහභාගීත්වයත් පමණක් සනාථ කර ගන්නා අතර තායිලන්තයේ පැවති ආසියානු වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ තරගාවලියේ 17න් පහළ ඒකල ඉසව්වේ පළමු 16 දෙනා අතරට එක් වීමට සමත් වෙනවා.

රනිත්මා, ආදරණීය මව සහ පියා සමඟ

මම ලැබූ මේ ජයග්‍රහණවලට වඩා අපි ගොඩක් දුක් වින්ඳා. අපි තුන්දෙනාගේ අධ්‍යාපනය කටයුතුවලට වගේ ම මගේ බැඩ්මින්ටන් ක්‍රීඩාවත් නඩත්තු වුනේ තාත්තගෙ රස්සාවෙන්. තරගවලට රට වටා යන්න වුනා. එහෙම වෙද්දී අම්මත් තාත්තත් වෙනදට වඩා වැඩියෙන් මහන්සි වෙනවා. අද වුනත් ඒකෙ වෙනසක් නැහැ. තරගවලට යන්න ලෙහෙසි නිසා මමත් අම්මත් දැන් කොළඹ නතර වෙලා ඉන්නේ. මේ නිසා අපිට වෙනදටත් වැඩිය වියදම් යනවා. අම්මත් මාත් එක්ක ඉන්න නිසා, තාත්තට වැඩ කරන්න වෙලා තියෙන්නේ තනියම. ඒත් කවදාවත් මගේ අඩු-පාඩුවක දී නැහැ-බැහැ කියල නැහැ. සමහර වෙලාවල්වලට අයියලගේ අවශ්‍යතාවන් ලබා නොදුන්නත් මගේ අවශ්‍යතාවන් මඟ හැරල නැහැ කවදාවත්.”

රනිත්මාගේ පවුලේ සියලුම දෙනා ම ඇයගේ දක්ෂතා වෙනුවෙන් කැප වූ අය. මේ නිසා ම ඔවුන් ඇයගේ අවශ්‍යතාවන් සපුරාලන්න බොහෝ කැපවීම් කරනවා. මේ අතරට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා මෙන් ම බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ද සිටිනවා.

රනිත්මාගේ මේ ගමන සාර්ථක කර ගැනීමට පුහුණුකරුවන් ලෙසින් කටයුතු කළ සහ කරමින් සිටින පවිත්‍ර අබේසිරිගුණවර්ධන, සුභාෂ් ජානක,  යුක්ති පෙරේරා සහ චරිත් විජේනායක යන මහත්වරුන් දැඩි දායකත්වයක් දක්වනවා. එමෙන් හිටපු ජාතික බැඩ්මින්ටන් ශූර නිලුක කරුණාරත්න ද මේ ලැයිස්තුවට එක් වෙනවා.

ඒ සියලු දෙනා වෙත ම රනිත්මා තුළ ඇත්තේ ගෞරවනීය කෘතවේදීත්වයක්.

මගේ සෑම ජයග්‍රහණයක් පිටුපස ම මේ සෑම කෙනෙක් ම ඉන්නවා. ඔවුන්ට, ඒ වගේ ම මගේ අම්මා, තාත්තා, අයියලා දෙන්නා මා වෙනුවෙන් දක්වන දායකත්වයට මීට වඩා යමක් ඔවුන්ට දෙන්න ඕන. ඒක මගේ ආසාව සහ අධිෂ්ඨානය. ඒ වෙනුවෙන් තව තවත් මහන්සි වෙන්න වෙනවා. කවදාහරි දවසක ඔලිම්පික් සහභාගීත්වය දක්වා මේ ගමන යන්න ඕන. ඔවුන්ගේ ද ආශීර්වාදය ඇතිව මම ඒ ගමන යනවා,” රනිත්මා ලියනගේ ThePapare.com සමඟ පැවසුවා.

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කරමින් ඉදිරියට යෑමට පෙරුම් පුරන රනිත්මා ලියනගේට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<