එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි!

ICC Cricket World Cup 2023

811
ICC Cricket World Cup 2023

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර්  05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ 10ක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ (ලීග් තරග ආකෘතිය අනුව) තරග 45ක් පැවැත්වීමට නියමිත අතර, ඉන්පසුව ලකුණු සටහනේ ඉහළින් ම රැඳෙන කණ්ඩායම් හතර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙවර තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාවේ Ahmedabad, Bengaluru, Chennai, Delhi, Dharamsala, Hyderabad, Kolkata, Lucknow, Mumbai සහ Pune ක්‍රීඩාංගණ තෝරා ගෙන ඇති අතර, තරගාවලියේ ආරම්භක තරගය ඔක්තෝබර් 05 වැනිදා 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළ නවසීලන්තය සහ එංගලන්තය අතර Ahmedabad හිදි පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මේ අතර තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ඉන්දීය කණ්ඩායම මුහුණ දෙන ආරම්භක තරගය ඔක්තෝබර් 8 වැනිදාට යෙදී තිබෙනවා.

මීට අමතරව තරගාවලියේ වැඩිම අවධානයක් යොමු වෙතැයි දැනට අපේක්ෂා කරන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම Ahmedabad හිදි ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී මුල් කණ්ඩායම් දෙක අතරට පිවිසීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණක් මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව හිමි වන අතර, එසේ අවස්ථාවක් හිමි වුවහොත් ඔවුන් ඔක්තෝබර් 6 වැනිදා පාකිස්තානය සමඟ හෝ ඔක්තෝබර් 7 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ සිය ආරම්භක තරගය ක්‍රීඩා කරනු ඇති.

මෙහි දී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 10ම මූලික වටයේ දී තරග 9ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම බොහෝ කණ්ඩායම්වලට තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ බොහෝමයක ක්‍රීඩා කිරීමට සිදු වන ලෙස මෙම කාලසටහන නිර්මාණය වී තිබෙනවා.

නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද නිසා ආරක්ෂාව පිළිබඳ ගැට‍ලු ඇති විය හැකි බැවින් පාකිස්තාන කණ්ඩායමට සිය තරග ක්‍රීඩා කිරීමට නියමිත ව ඇත්තේ ක්‍රීඩාංගණ පහක පමණයි.

එමෙන්ම තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 48න් හයක් පමණක් දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අනෙක් සියලු ම තරග දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වෙනු ඇති.

ලීග් වටයේ මුල් ස්ථාන හතර තහවුරු කර ගන්නා කණ්ඩායම් විසින් ක්‍රීඩා කිරීමට නියමිත අවසන් පූර්ව තරග ද්විත්වය නොවැම්බර් 15 සහ 16 යන දින දෙකේ දී Mumbai සහ Kolkata හිදි පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම එම තරග ද්විත්වය ජයග්‍රහණය කරනා කණ්ඩායම් නොවැම්බර් 19 වැනිදා Ahmedabad හිදි ලෝක ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇති.

මේ අතර තරගාවලියේ අවසන් වටයේ තරග තුන වෙනුවෙන් පමණක් අතිරේක දිනයන් ද වෙන් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදායින් ආරම්භ වීමට පෙර සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා තරගාවලියේ පුහුණු තරග පැවැත්වීමට ICC විසින් සැලසුම් කර තිබෙනවා.

මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<