අසමානතාවය ඔඩු දිවූ ක්‍රිකට් බේරාගන්නේ කෙසේ ද?

733

මුස්ලිම් ජාතික ක්‍රීඩකයෙකුගේ යාච්ඤා කලාළය පිළිබඳ කරන ලද දරුණු විහිළුවක් සහ කාන්තාවන් ගොදුරු ලෙස දකින්නන් ගැන හෙළිවීම, ක්‍රිකට් ක්‍රීඩාවේ අසමානත්වය ගැන තිත්ත ඇත්ත ලොවට විවෘත කොට ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ සමානාත්මතාවය සඳහා වන ස්වාධීන කොමිසමේ (ICEC – Independent Commission for Equity in Cricket) වාර්තාව ලැබෙන තෙක් දිගුකලක් බලා සිටි ක්‍රිකට් උනන්දුවන්ට එය ලැබී තිබේ. ජාතිවාදය, ලිංගිකත්වය අනුව කෙරෙන අසමාන සැලකීම්, පන්ති භේදය සහ කුලවාදය එංගලන්තය සහ වේල්සය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන ලක්ෂණ බවට පත්ව ඇත.

කොමිසමේ සභාපතිනි සින්ඩි බට්ස් පවසන අන්දමට, ඔවුන්ට දැන ගන්නට ලැබුණු වාර්තා වලින් ගම්‍ය වන්නේ ක්‍රිකට් සංස්කෘතිය කුණු වී ඇති බවකි.

කාන්තාවන්ව නොනවත්වා රාමුගත කිරීම, පහත හෙළීම, ගොදුරු බවට පත්වීම ගැන අපට අහන්නට ලැබුණා,” BBC වෙත ඇය පැවසුවාය.

අපට කාන්තාවන්ගෙන් අහන්නට ලැබුණා, ඔවුන් ලකුණු පුවරුව ඇතුළට යන විට තන පට ඇඳීම තහනම්වැනි සංඥා පුවරු ඔවුන්ට දකින්නට ලැබීම ගැන. මේ 1923 නෙමෙයි, 2023 දී,” ඇය තවදුරටත් පැවසුවාය.

ජාතිවාදී ප්‍රකාශයන් කිරීම සම්බන්ධව ද ඇය අදහස් දැක්වූවාය. වයස අවුරුදු 13ක ක්‍රීඩකයෙකු දස්කම් දක්වමින් ඉදිරියට එද්දී ඔහුට “ගෙදර යන්නැ”යි පැවසූ අවස්ථාවක් ද ඊට ඇතුළත් ය.

අපට අහන්නට ලැබුණා හිටපු මුස්ලිම් ක්‍රීඩකයෙකුට ඔහුගේ ක්‍රීඩා සගයින් විසින් කළ අගෞරවනීය විහිළු දරා ගැනීමට සිදුවීම ගැන. ඔවුන් කාන්තාවන් එක්ක සංවාසයේ යෙදිලා ඔහුගේ යාච්ඤා කලාළයෙන් ඒවා පිරිසිදු කළ බව කියවෙද්දීත්,” සින්ඩි බට්ස් සිහි කළාය.

ඇහුණු කතා අතිශයින්ම බිහිසුණුයි සහ එයින් පෙනෙන්නේ ක්‍රිකට් සංස්කෘතිය කුණු වෙලා තියෙන බවයි,” ඇය එකතු කළාය.

කාන්තා හිංසනය

අදාළ වාර්තාව සඳහා විනෝදයට ක්‍රීඩා කෙරෙන ක්‍රිකට් සහ වෘත්තීය ක්‍රිකට් යන දෙඅංශයම ආවරණය වන පරිදි සාක්ෂි එකතු කළ අතර 4,000කට වැඩි ප්‍රතිචාර ලැබී තිබිණි.

සාක්ෂි ලබා දුන්නවුන් අතර එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් ද වේ. එමෙන්ම කාන්තා ටෙස්ට් කණ්ඩායමේ නායිකා හෙදර් නයිට්, හිටපු නායක ජෝ රූට් ද, ලෝක ශූර නායක ඔයින් මෝගන් ද විය.

අපට අහන්නට ලැබුණා මෙය එංගලන්ත ජාතික කණ්ඩායමේ ක්‍රීඩාගාරය, විනෝදාත්මක ක්‍රිකට්, පරිපාලන මට්ටමේ සහ ආධුනික ක්‍රීඩකයන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව පුරාම තියෙන ප්‍රශ්නයක් බව,” ඇය කීවාය.

ජාතිවාදය මෙන්ම කාන්තාවන්ට අසමානව සැලකීම ගැන ද බොහෝ දෑ හෙළි වී තිබේ.

අප දැකලා තියෙන විදියට මධු සාද වැනි අවස්ථාවන් වලදී කාන්තාවන් දුර්වල වෙනවා. ඔවුන් ලිංගික හිංසනයන්ට ලක්වෙනවා. විශාල වශයෙන්ම කාමුක කෙටි පණිවුඩ වලින්,” ඇය පැවසුවාය.

අපට කතා කළ ගොඩක් කාන්තාවන් කිව්වා, දුර්වල වෙලා, අනතුරුවලට විවෘත වෙලා, පිරිමින්ගේ අනවශ්‍ය යෝජනා වලට ලක්වෙන එක ගැන,” එයට එංගලන්තය හෝ ශ්‍රී ලංකාව කියා වෙනසක් නැත. කාන්තාවන් දුර්වල වන්නේ යම් තැනක දී ද, එතැන් හිදී ඔවුන් වෙත පියවරක් තැබීම අවස්ථාවාදී පිරිමින්ගේ ස්වභාවයයි.

කොමිසම විසින් නිර්දේශ 44ක් ඉදිරිපත් කොට ඇත. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීම ද ඊට ඇතුළත් ය.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් මහතා පවසන්නේ ක්‍රීඩාව වෙනුවෙන් ගත යුතු විශාලම තීරණය කුමක් දැයි තමන් සොයමින් සිටින බවයි. BBC හමුවේ ඔහු පැවසුවේ මෙවැන්නකි.

මම හිතන්නේ මේ වාර්තාව අපේ ක්‍රියාවලිය තවත් වේගවත් කරාවි”

ඒ කාලේ මම කිව්වා, පේන විදියට ඒ වැඩේට අපට අවුරුදු 5ක් වත් යයි කියලා. පේන විදියට මට හිතෙන්නේ මේ වාර්තාව පදනම් කරගෙන ඒ මට්ටමට යන්න නම්, අපට දැන් තවත් උස කන්දක් නගින්න තියෙනවා කියලා,” ඔහු පැවසුවේය.

මෙය ද ඊට එකතු කරන්නට ඔහු විසින් අමතක නොකළේය.

ඒත් ක්‍රිකට්, වෙන කිසිම ක්‍රීඩාවකින් අමතන්නේ නැති ප්‍රජාවක් අමතනවා”

තවදුරටත් වාර්තාවේ සඳහන් වන්නේ?

වාර්තාවේ සඳහන් පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ අසමානතාවය ඇපල් මල්ලක තිබෙන නරක ඇපල් ගෙඩි කිහිපයක තත්වයක් නොව, පුළුල්ව පැතිරුණු බරපතළ ප්‍රශ්නයකි.

එහි සඳහන් පරිදි,

අසමානව සැලකීම සැඟවී තිබෙන සංස්කෘතියක් බරපතළ අභියෝග වලට මුහුණ දීමට සිදු නොවී ගමන් කරයි.”

ඊට අමතරව ක්‍රිකට් හා සම්බන්ධ ජාතිවාදී අදහස් දැක්වීම්, කෙනෙකුව පහත කරමින් දක්වන අදහස් මෙන්ම ක්‍රිකට් හා සම්බන්ධ මධු සාද සංස්කෘතිය තුළ කාන්තාවන්ව ගොදුරු බවට පත්වීම ද දක්නට ලැබෙන බව එහි සඳහන් ය.

මෙතෙක් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී කාන්තා ටෙස්ට් තරගයක් පැවැත්වී නැත්තේ ඇයි ද, යන්න ද එහි දී ප්‍රශ්නයට බඳුන් කොට තිබේ. ඊටන් එදිරිව හැරෝ සහ ඔක්ස්ෆර්ඩ් එදිරිව කේම්බ්‍රිජ් වැනි සාම්ප්‍රදායික ක්‍රිකට් තරග ද ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම 2023 සිට නොකළ යුතු බව ද නිර්දේශිතයි. ඉන් උත්සාහ කෙරෙන්නේ කුලවාදය ක්‍රිකට් ක්‍රීඩාව තුළ නොමැති බව ඔප්පු කිරීම යැයි වාර්තාවේ සඳහන් ය.

එවැනි සාම්ප්‍රදායික තරග ද ලෝඩ්ස් හිදී පැවැත්වෙද්දී කාන්තා ටෙස්ට් තරගයක් එහි නොපැවැත්වෙන්නේ මන්දැයි සින්ඩි බට්ස් ප්‍රශ්න කරයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<