පාකිස්තාන නායකත්වය නැවතත් බාබර් අතටම!

100
shaheen afridi

පාකිස්තාන ක්‍රිකට් සීමිත පන්දුවාර නායකත්වය නැවතත් හිටපු නායක Babar Azam හටම නැවතත් හිමි වී තිබෙනවා.

පසුගිය වසරේ පැවැත්වුණු එක්දින ලෝක කුසලානයෙන් පසුව පාකිස්තාන ක්‍රිකට්වල දැවැන්ත වෙනසක් සිදු කරමින් Babar Azam සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉවත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගත්තා.

ඉන් පසුව විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය Shaheen Shah Afridi හට ලබා දුන් අතර, ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානය ක්‍රීඩා කළේ එක් විස්සයි විස්ස තරගාවලියක් පමණයි.

නවසීලන්තය සමඟ පැවැත්වුණු මෙම තරගාවලියේ දී පාකිස්තානයට තරග 4-1ක පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර, ඉන් පසුව පසුගිය දා නිමා වූ PSL තරගාවලියේ දී Afridiගේ නායකත්වයෙන් යුතු Lahore Qalandars කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග 10න් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ එක් තරගයක් පමණයි.

තවමත් 23 හැවිරිදි වියේ පසු වන Afridi ඒ අනුව පාකිස්තාන නායකත්වයෙන් ඉවත් ව යනු ඇති අතර, නැවතත් Babar Azam විසින් පාකිස්තානය මෙහෙයවීමේ වගකීම බාර ගනු ඇති.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය Babarට දැනට පවතින විශාලතම අභියෝගය ලෙස හඳුන්වාදිය හැකි අතර, එම තරගාවලිය තීරණය ඔහුගේ නායකත්ව ගමනේ තීරණාත්මක ම හැරවුමක් වනු ඇති බව අනුමාන කළ හැකි.

මේ අතර ලෝක කුසලානයට පෙර නවසීලන්තය සමඟ ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය Babar නැවත නායකත්වයට පැමිණීමෙන් පසු ඔහුට හිමි වන පළමු අභියෝගය ලෙස සටහන් වනු ඇති.

කෙසේ වෙතත් මෙසේ නැවත නායකත්වය බාර ගැනීම සඳහා Babar විසින් කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත් කර ඇති බවයි ESPN Cricinfo වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන්නේ.

මෙහි දී ඔහු විසින් සැලකිය යුතු දීර්ඝ කාලයක් මෙම වගකීම හෙබවීමේ අවස්ථාව මෙන්ම, කණ්ඩායමේ තේරීම් පිළිබඳ තීරණ ගැනීමේ වැඩි බලයක් ද ලබා ගැනීම සඳහා ද ඉල්ලීම් කර තිබෙනවා.

මෙම නව තීරණයත් සමඟින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය කුමන අතකට හැරේවිද යන්න ඉදිරියේ දී දැක ගත හැකි වනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<