ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය අවසන් වී දින කිහිපයක් ගතවී ඇතත් ඔලිම්පික් උණුසුම තවමත් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් වලින් බැහැරවී නැත. ශ්‍රී ලංකාව මෙවර සහභාගී වූයේ සිය 17 වන ඔලිම්පික් උළෙලටයි. නමුත් මීට පෙර අවස්ථා 16න් 14කදී මෙන්ම මෙවරත් ශ්‍රී ලංකා ඔලිම්පික් සිහිනය අවසන් වුනේ බිංදු තුනකින්. (රන් – 0, රිදී – 0, ලෝකඩ – 0)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් සහ එවන් දෙතුන් ගුණයක නිලධාරී මඩුල්ලකින් සමන්විත වූ ශ්‍රී ලංකා ඔලිම්පික් නියෝජනයට බ්‍රසීලයේදී සිදුවූයේ කුමක්ද?

ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයන් හත් දෙනෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුලත් විය. මලල ක්‍රීඩාවට 3 දෙනෙක් සහ පිහිනුම් ක්‍රීඩාවට දෙදෙනෙක් මෙන්ම බර එසවීම, ජුඩෝ, ඉලක්කයට වෙඩි තැබීම සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් බැගින් ඊට ඇතුලත් විය. ඔවුන් සමග නිල වශයෙන් සහභාගී වූ පුහුණුකරුවන් සංඛ්‍යාව 8 දෙනෙකි. (කිමිකෝ රහීම්ගේ පුහුණුකරු ලෙස අවසරපත් ලබාදෙමින් හොර පාරෙන් ගෙනගිය පුද්ගලයා හැර.) ඔවුන් ක්‍රීඩා 6ක ඉසව් 10ක් සඳහා තරග වැදුනි.

rio 1
කිමිකෝ රහීම් සහ මැතිව් අබේසිංහ

රියෝ ඔලිම්පික් තරග බිමේ ශ්‍රී ලංකා නියෝජනය පළමුවෙන්ම සනිටුහන් කළේ මෙවර කණ්ඩායමේ ලාබාලතම සාමාජිකාව වූ 17 හැවිරිදි පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් විසිනුයි. ඇය අගෝස්තු 7 වැනිදා කාන්තා මීටර් 100 පසුපස ආර මූලික වටයේ දෙවන තරගයට එක්වූයේ දෙවන මංතීරුවෙනි.

කිමිකෝ එම මූලික තරගය, සිවු වැනියා ලෙස අවසන් කලේ මිනිත්තු 1යි, තත්පර 04.21ක කාලයක් වාර්තා කරමිනුයි. ඔලිම්පික් තරගබිමේ වඩාත් තරගකාරී ඉසව් අතරින් ප්‍රධාන තැනක් ගන්නා පිහිනුම් ඉසව්වක අවසන් පූර්ව වටයට පිවිසීම මෙරට ක්‍රීඩකයන් හට සිහිනයක් බඳු වුවත් කිමිකෝ තම පෞද්ගලික හොඳම දක්ෂතාව හෝ වාර්තා කිරීමට අසමත් වීම කනගාටුවට කරුණක් විය. ඇයගේ තරග නිමි කාලය ශ්‍රේණි ගත වූයේ එම ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් 34 දෙනා අතුරින් 28 වන ස්ථානයටයි.

rio 2
මංගල සමරකෝන්

අගෝස්තු 8 වැනිදා ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට කාර්ය බහුල දිනයක් විය. කෙසේ වෙතත් දිනයේ පළමු ශ්‍රී ලංකා නියෝජනය වූ මංගල සමරකෝන් හට මීටර් 10 වායු රයිෆල් ඉලක්කයට වෙඩි තැබීමේ සුදුසුකම් ලැබීමේ වටයෙන්ම දැවැන්ත පරාජයක් අත්විය. ඔහු තරගය අවසන් කලේ ඊට එක්වූ තරගකරුවන් 50 දෙනා අතුරින් අවසන් ස්ථානයට පත් වෙමිනුයි. එහිදී ලකුණු 600 සීමාව ඉක්මවන්නට අසමත් වූ එකම ක්‍රීඩකයා වූයේත් මංගල පමණි.

අනතුරුව 12 වැනිදා තම දෙවන ඉසව්ව වූ මීටර් 50 රයිෆල් ප්‍රෝන් ඉසව්ව සඳහා සහභාගී වූ මංගල සමරකෝන් එහිදීද කැපී පෙනෙන දස්කමක් දැක්වීමට සමත් නොවීය. එම ඉසව්වට එක්වූ ක්‍රීඩකයන් 47 දෙනෙක් අතුරින්ද මංගලට හිමිවූයේ (හිමි කර ගත්තේ) අවසන් ස්ථානයයි.

rio 3
චාමර නුවන් ධර්මවර්ධන

මෙවර රියෝ ඔලිම්පික් තරග බිමේ ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ජයග්‍රහණයක් ලියන්නට සමත් වූ ප්‍ර‍ථම ක්‍රීඩකයා වූයේ පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් ජුඩෝ තරග බිමට පිවිසි චාමර නුවන් ධර්මවර්ධනයි. ඔහු අවසන් ක්‍රීඩකයන් 32දෙනාගේ වටයේදී අගනා ජයග්‍රහණයක් ලබා ගත්තේ ඇමරිකානු සැමෝවා දේශයේ ක්‍රීඩක බෙන්ජමින් වෝටර්හවුස් පරදවමිනුයි.

මේ අනුව චාමර අවසන් 16 දෙනාගේ වටයට පිවිසෙන්නට සමත් වූයේ අවසන් 16 දෙනා අතරට අයත් වූ ලෝක ජුඩෝ ක්‍රීඩකයින් වර්ගීකරණයේ පළමු 300 දෙනා අතරට අයත් නොවන එකම ක්‍රීඩකයා ලෙසිනුයි. කෙසේ වෙතත් අවසන් 16 දෙනාගේ තරගයේදී, මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ජෝර්ජියානු ක්‍රීඩකයා සමග පැවති තරගයෙන් අනගි සටනක් දීමෙන් පසු පරාජය වුවත්  චාමර ශ්‍රී ලංකාවට අත් කර දුන් ගෞරවය සුළුකොට තැකිය නොහැකියි.

මේ අතර අගෝස්තු 8 වැනිදාම ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් අකාලයේ සුන්වී ගියා. ඒ කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් බර එසවීමේ මූලික තරගයට එක්වූ සුදේශ් පීරිස්ට ප්‍රතිඵලයකින් තොරවම තරගයෙන් ඉවත්වීමට සිදුවීම හේතුවෙනුයි.

rio 4
සුදේශ් පීරිස්

මෙම තරගයේ ස්නැච් ක්‍රමය සඳහා ආරම්භක බර ලෙස සුදේශ් කිලෝ ග්‍රෑම් 120ක දස්කමක් දැක්වීමට උත්සාහ කළද ඔහුගේ ස්නැච් උත්සාහයන් 3ම ව්‍යර්ථ වීම නිසා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට උත්සාහ කිරීමේ අවස්තාව මෙන්ම සමස්ත දක්ෂතාවක් සටහන් කිරීමේ අවස්ථාවත් සුදේශ් හට අහිමි විය. ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධයක් මෙම අවාසනාවන්ත ඉරණමට බලපෑ එක් හේතුවක් විය.

rio 5
මැතිව් අබේසිංහ

පරිසාධන මට්ටම ඉක්මවමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගත් පළමු ක්‍රීඩකයා වන මැතිව් අබේසිංහ රියෝ පිහිනුම් තටාකයට පිවිසියේ අගෝස්තු 9 වැනිදායි. ඔහු පිරිමි මීටර් 100 නිදහස් ආර දෙවන මූලික තරගයට එක්වූයේ 4 වන මංතීරුවෙනි.

මැතිව් එහිදී 3 වැනි ස්ථානයට තරගය අවසන් කළද ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට තරම් හොඳ කාලක් වාර්තා කරන්නට සමත් නොවීය. තත්පර 50.93ක කාලයකින් පරිසාධන මට්ටම ඉක්මවූ මැතිව් මෙම තරගයේදී වාර්තා කළ කාලය තත්ත්පර 50.96ක්. මේ අනුව ඔහුත් තම පෞද්ගලික හොඳම දක්ෂතා අතරට නොපැමිණීම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට කනගාටුව ගෙනදුන් කරුණක් විය.

rio 6
නිලූක කරුණාරත්න

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්නට පළමු තරගයේදී හිමිවූ අභියෝගය ඉතා අසීරු එකක් විය. පිරිමි කේවල ඉසව්වේ පළමු වටය සඳහා P කාණ්ඩයෙන් එක්වූ නිලූකගේ පළමු ප්‍රතිවාදියා වූයේ ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩකයින් වර්ගීකරණයේ ඉහලම ස්ථානයක පසුවූ චීන ක්‍රීඩක ලොං චෙන් ය. එහිදී තරගවට 2 – 0 ක් ලෙස පහසු ජයක් ලබන්නට චෙන් සමත් විය.

P කාණ්ඩයේ සිටි එක් ක්‍රීඩකයෙක් තරගාවලියෙන් ඉවත්වීම නිසා නිලූකට සහභාගී වීමට ලැබුනේ තවත් එක් තරගයකට පමණයි. ඒ පෝලන්තයේ ඒඩ්‍රියන් සියොල්කෝ  සමගිනි. ක්‍රීඩකයින් වර්ගීකරණයේ තමන්ට වඩා ස්ථාන ගණනාවක් ඉදිරියෙන් සිටින මේ ක්‍රීඩකයාට ප්‍රබල සටනක් දී, තරගය ජයගන්නට නිලූක සමත් විය. පළමු වටය ලකුණු 21 – 19ක් ලෙස ජයගත් ඔහු දෙවන තරග වටය ජයගත්තේ 24-22ක් ලෙසින්.

කාණ්ඩයේ පළමු ක්‍රීඩකයා පමණක් ඉදිරි වටයට සුදුසුකම් ලැබීම හේතුවෙන් නිලූකගේ ඔලිම්පික් ඉදිරි ගමන එතනින් අවසන්වූ අතර P කාණ්ඩයෙන් ඉදිරියට යාමට සමත් වූ ලොං චෙන් අදාළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

rio 7
නිලූකා ගීතානි රාජසේකරයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් මුලින්ම රියෝ තරග බිමට පිවිසුනේ මැරතන් ක්‍රීඩිකා නිලූකා ගීතානි රාජසේකරයි. 2015 ජනවාරි මාසයේදී ඇය මැරතන් ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවන්නට සමත් වීම නිසා නිලූකා මෙම ඉසව්වේ පළමු 50 දෙනා අතරට හෝ පැමිණෙනු ඇති බවට මෙරට ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තුවෙන් සිටින ලදී. කෙසේ වෙතත් ඒ බලාපොරොත්තු සියල්ල සුන් කරමින් මැරතන් තරගය අවසන් කළ කාන්තාවන් 133 දෙනා අතුරින් නිලූකාට හිමිවුණේ 129 වන ස්ථානයයි. ඇය තරගය අවසන් කරන්නට තම පෞද්ගලික හොඳම දක්ෂතාවට වඩා මිනිත්තු 30 කටත් අධික කාලයක් ගත කර තිබුණි.

rio 8
සුමේධ රණසිංහ

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් අවසන් වටයකට සුදුසුකම් ලබනු ඇති බවට වැඩිම දෙනෙක් බලාපොරොත්තු රඳවා ගත්තේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ වෙතයි. කෙසේ වෙතත් ඔහුද ඉසව්වට එක්වූ ක්‍රීඩකයන් 37 දෙනා අතුරින් 36 වන ස්ථානය දක්වා පහතට ඇද වැටීම කනගාටුවට කරුණක් විය.

සුමේධට මෙම ඉසව්වේදී වාර්තා කිරීමට හැකිවුණේ මීටර් 71.93 ක දක්ෂතාවක් පමණි. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන සුමේධගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය මීටර් 83.04ක් ලෙස දැක්වෙයි. ඔහු අවම වශයෙන් මීටර් 83ක දස්කමක් හෝ දක්වන්නට සමත් වූයේ නම් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ලොව හොඳම ක්‍රීඩකයන් 12 දෙනා අතරට එක්වීමේ ගෞරවය දිනා ගැනීමට හැකියාව තිබුණි.

rio 9
අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණතම ක්‍රීඩකයා වූ 38 හැවිරිදි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ තම පිරිමි මැරතන් ඉසව්වට එක් වුනේ රියෝ ඔලිම්පික් අවසන් දිනයේදීයි. අනුරාධ එහිදී යම් ගෞරවනීය මට්ටමකට ශ්‍රී ලංකා ධජය ඔසවමින් 34වන ස්ථානය දිනා ගන්නට සමත් විය. කෙසේ වෙතත් ඔහුද තම හොඳම පෞද්ගලික දක්ෂතාව අසලට හේ පැමිණෙන්නට සමත් නොවීය. අනුරාධ 2015 ලන්ඩන් මැරතන් තරගයේදී වාර්තා කල කාලය ඔහුට රියෝ පිරිමි මැරතන තරගයේ 15 වන ස්ථානය හිමිකර ගැනීමට තරම් හොඳ දක්ෂතාවකි.

rio 10
ඩංකන් වයිට් (වම) සුසන්තිකා ජයසිංහ (දකුණ)

1948 වසරේ සිට ඔලිම්පික් උළෙල ගණනාවකට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ සංඛ්‍යාවකුත්, එවන් තුන් හතර ගුණයක නිලධාරී නඩයකුත් සහභාගී වී තිබේ. නමුත් 1948 වසරේ  රිදී පදක්කමක්  දිනාගත් ඩන්කන් වයිට් සහ 2000 වසරේ ලෝකඩ පදක්කමක් දිනාගත් සුසන්තිකා ජයසිංහ (අදාළ ඉසව්ව ජයගත් ඇමරිකාවේ මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වූ බැවින් පසුව එය රිදී පදක්කමක් බවට පත් විය) හැරුණු විට මෙතෙක් මෙරට වෙනුවෙන් පදක්කම් දිනා ගැනීමට සමත් අන් කිසිවෙක් ඔලිම්පික් උළෙල කිසිවකටත් සහභාගී වී නැත

අතීතයේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරු සියලුදෙනාම කළාක් මෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාත් පවසන්නේ ඉදිරි ඔලික්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කරන වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

rio 11
අමිල ජයසිරි

නමුත්, ඔලිම්පික් උළෙලේ පිරිමි දුර පැනීමේ තරගය පැවති දිනයේදීම එහි 5 වන ස්ථානය දිනාගත් ක්‍රීඩකයාගේ දක්ෂතාවය අභිබවා යන දුරක් පනින්නට ශ්‍රී ලංකාවේ අමිල ජයසිරි සමත් වූ බවත්, දියගම ක්‍රීඩාංගනයේ සුළං මාපකයක් නොමැතිවීම හේතුවෙන් එය ජාතික වාර්තාවක් ලෙස සටහන් නොවූ බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ක්‍රීඩාවේ ඉහල නිලධාරීන් තවමත් නොදැන සිටියහොත් එයද විමතියට කරුණක් නොවේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පරාජය වූ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම මෙවර ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යද්දී එම තරගාවලියේදී ඔවුන්ව පරාජය කල ශ්‍රී ලංකා දක්ෂයින්ට ගෙදරට වී  දකුණු ආසියානු පදක්කම් ඔප දමමින් සිටීමට සිදුවීම මෙරට ක්‍රීඩා පරිපාලකයන්ගේ හැකියාව විදහා දක්වන හොඳම උදාහරණයකි.

වසර ගණනාවක් පුරා තම පෞද්ගලික අවශ්‍යතා මත රට පසුපසට අදින ක්‍රීඩා බලධාරීන් පිලිබඳ දැඩි තීරණ ගැනීම අදම ආරම්භ නොකළහොත්, ශ්‍රී ලංකාවට මීළඟ ඔලිම්පික් පදක්කම දිනාගැනීමට ඉතිරිවන්නේ එක් ක්‍රමයක් පමණයි. ඒ කවදා හෝ ඔලිම්පික් ක්‍රීඩා අතරට කඹ ඇදීමේ තරගය ඇතුලත් කර එයට මෙරට ක්‍රීඩා බලධාරීන් සහභාගී කරවීමයි.  

රියෝ ඔලිම්පික් සදහා සහභාගී වුනු ක්‍රීඩකයින් සහ බලදාරීන් පිලිබද ඔබේ මතය පහතින් පලකරන්න.