මැරතන් ඉසව්වක් කෙටි දුර ධාවන ඉසව්වකට වඩා බොහොසෙයින් වෙනස් වෙයි. ජවය, අපේක්ෂාව, සිහින සහ අනෙක් ක්‍රිඩකයින් අතරින් මහන්සියම විවේකය කරගනිමින් අවසන් රේඛාව දක්වා දිව යා යුතු ගමනක් වේ.

එහෙයින් මැරතන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් රටක ඇති තවත් සම්පතක් යැයි කිවහොත් එය නිවැරදි. ඉතිං මෙවර “Road to Rio – ඔලිම්පික් යන අපේ තරු“ විශේෂාංගයෙන් සාකච්ඡාවට ලක් කරන්නේ ප්‍ර‍ථම වතාවට කාන්තා මැරතන් ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 රියෝ ඔලිම්පික් සදහා සහභාගී වන සුවිශේෂි ක්‍රීඩිකාවක් පිලිබදවයි. ඇය නමින් නිලූකා ගීතානී රාජසේකරයි.

කොළඹින් දුර බැහැර ප්‍රදේශයකදි අකුරු කරන ඇයගේ පාසල වන්නේ, දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායද කර පාසලක් වන වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයි. 1982 වසරේ මාර්තු මස 17 වැනිදා උපත ලැබු ඇය මේවන විට ශ්‍රී ලංකා යුද හමුදාවට සේවය කරමින් සිටියි.

ඇය ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යෑමට සමත් වූයේ මීට වසර දෙකකට පෙර එනම් 2014 වර්ෂයේ දි පැවති කොළඹ මැරතන් තරගයේ කාන්තා අංශයෙන් දෙවැනි ස්ථානයට තරගය නිමා කරමිනි. එහිදි ඇය පැය 02 මිනිත්තු 42 තත්පර 55 කින් තරගය නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවීමට සමත්වුවාය.

“ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම වතාවට ඔලිම්පික් කාන්තා මැරතන් ඉසව්වක් නියෝජනය ක්‍රීඩිකාව මම වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම Records කියන ඒවා කඩන්න පුළුවන් නමුත් ඉතිහාස වාර්තාවක් එහෙම කඩන්න බැහැ. ඉතිං ඒක නිසා මට ගොඩක් ලොකු සතුටක් සහ ආඩම්බරක් දැනෙනවා මේ අවස්තාවේ“ යැයි සිය ඔලිම්පික් වරම ගැන අප විමසූ අවස්තාවේදි ඇය නිහතමානි ලෙස අදහස් දැක්විය.

එහිදි ඇය වැඩිදුරටත් ප්‍ර‍කාශ කර සිටියේ “මගේ event එක 5000. ඉතිං මං ඒක කරන ගමන් අහම්බෙන් තමයි කොළඹ මැරතන් එකට සහභාගී වුනේ. ඉතිං ඒකෙදි මම ශ්‍රී ලංකා Record එක පැය 02 මිනිත්තු 42කින් අලුත් කරනවා. ඒ වගේම මගේ ආසියානු හොන්ග් කොන්ග් තරගයේදි පැය 02 විනාඩි 40ක් වාර්තා කරමින් තමයි මම ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා ගියේ. ඉතිං මම කියනවා මම හරිම වාසනාවන්තයි, මගේ දෙවැනි තරගයේදි මම ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා ගියේ. ඉතිං මම හිතනවා මම පෙන්නුවා කියලා මැරතන් ක්‍රීඩිකාවන්ට මේවගේ කාලයකින් තරගය නිමා කරන්න පුළුවන් කියලා. ඉතිං මම බලාපොරොත්තු වෙනවා තවත් අවුරුදු 4කින් පවත්වන ඔලිම්පික් එකට ශ්‍රී ලංකාවෙන් මම වගේ තවත් ක්‍රීඩිකාවෝ සහභාගී වෙයි කියලා“.

ඇය දැක්වු දක්ෂතා පිලිබද අවදානය යොමු කිරීමේදි එය 1999 වර්ෂයේ සිට කතා කල යුතුයි.

එහිදි,

  • 1999 වර්ෂයේදි ඕස්ට්‍රේලියාවේදි පැවති අරෆියුරා ක්‍රීඩා උළෙලේදි මීටර් 400/800 අංශ වල සිවුවැනි ස්ථානය ලබා ගැනීම.
  • 2004 දි කොළඹ දි පැවති ආසියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියේ මීටර් 1500 අංශයෙන් සිවුවැනි ස්ථානය ලබා ගැනීම.
  • 2005 වර්ෂයේදි කොරියාවේදි පැවති අන්තර් ආගමික ක්‍රීඩා උළෙලේදි මීටර් 800, මීටර් 1500 සහ 4*400 සහය දීවීම යන ඉසව් තුනෙන්ම රන් පදක්කම් ලබා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වීම.
  • 2006 වර්ෂයේදි 10 වරටත් පැවැත්වු සිංගප්පුරු විවෘත ශුරතාවලියෙන් මීටර් 800 සහ මීටර් 1500 ඉසව්වන් වලින් සිවුවැනි ස්ථානය ලබා ගැනීම.
  • 2008 දි ඉන්දියාවේ කොචින් හි පැවති දකුණු ආසියානු ශූරතාවලියේදි මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් මීටර් 1500 සිවුවැනි ස්ථානයත් දිනා ගැනීම.
  • 2012 චීනයේදි පැවති ආසියානු රට හරහා දිවීමේ ශුරතාවලියේදි කණ්ඩයම් ඉසව්වේ සිවුවැනි ස්ථානය ලබා ගැනීම.
  • 2013 වසරේ තායිලන්තයේ පැවති තායි විවෘත ශූරතාවලියේදි මීටර් 5000 ඉසව්වෙන් රන් පදක්කමත්, මීටර් 1500 ඉසව්වෙන් රිදි පදක්කමත් දිනා ගැනීම.
  • 2013 දි ඉන්දියාවේදි පැවති ආසියා ශුරතාවලියේදි මීටර් 5000 ඉසව්වේ 9වැනියා වීම.
  • 2014 දි තායිලන්තයේදි පැවති තායි විවෘත ශුරතාවලියේදි මීටර් 1500 සහ මීටර් 5000 ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීම.
  • 2015 දි පැවති හොන්ග් කොන්ග් මැරතන් තරගාවලියේ ශ්‍රී ලංකා වාර්තාවක් සමග 16වැනියා බවට තරගය නිමා කිරීම.
  • 2015 බීජින් හිදි පැවති IAAF ලෝක ශූරතාවලියේදි 49වැනියා ලෙසින් තරගය නිමා කිරීම.

ඇය ගැන කතා කිරීමේදි සදහන් කලයුතු දක්ෂතාවයන් වෙයි.

ඇය දක්වා ඇති හොදම පෞද්ගලික දක්ෂතා ලෙස බැලීමේදි මීටර් 400 තත්පර 53කින් ද, මීටර් 800 මිනිත්තු 02 තත්පර 08 කින්ද, මීටර් 1500 මිනිත්තු 4 තත්පර 22කින් ද, මීටර 5000 මිනිත්තු 16 තත්පර 23.08 කින්ද නිමා කිරීම දැක්විය හැකි අතර මිනිත්තු 34 තත්පර 56 කින් මීටර 10000 ඉසව්වද,  ශ්‍රී ලංකා වාර්තාවක් තැබු පැය 02 මිනිත්තු 40 තත්පර 04 මැරතන් දක්ෂතාවය ද සාකච්ඡා කල යුතුයි.

ඔලිම්පික් තරගාවලියට ඇයගේ පුහුණුවීම් පිළිබද අදහස් විමසූ විට, “මම පහුගිය මැයි මාසයේ ඉදලා නුවරඑළියේ තමයි පුහුණුවීම් කලේ. ඉතිං මම හිතනවා පසුගිය SAG තරගවලද මුණ ගැසුනු ඉන්දිය ක්‍රීඩකාව තමයි මට තියෙන අභියෝගය. ඉතිං ඔලිම්පික් වලදි මට තියෙන එකම බලාපොරොත්තුව මගේ පුද්ගලික දක්ෂතාවයටත් වඩා අඩු කාලයකින් තරග නිමා කරන එක වගේම මම Target කරනවා ඉන්දීය ක්‍රීඩිකාව පරද්දන්න. යැයි සිය බලාපොරොත්තු සහ අරමුණු ගැන අප හා පැවසීය.

අවසාන වශයෙන් ThePapare.com අප සිය ජීවන ගමනේ ඇයට සහය වූවන් පිළිබද විමසීමේදි ඇය ඉතාමත් සංවේදීවෙමින් ප්‍ර‍කාශ කලේ “පසුගිය ලෝක මැරතන් ශුරතාවලියෙන් පස්සේ මට ආපු ප්‍ර‍ශ්න එකක් මම ආයේ සෙල්ලම් කරන්නේ නැහැ කියලා තීරණය කලා. නමුත් මගේ ස්වාමී පුරුෂයා මගේ පිටිපස්සෙන් ඉදලා මාව දිරිමත් කරමින් මාව මේ අවස්තාව දක්වා රැගෙන ආවා. ඒවගේම මට උදව් කරපු අයට ස්තූතිවන්ත වීමේදි මම ස්තූතිවන්ත වෙනවා මගේ පාසලට. මම මුලින්ම අඩිතාලම දැම්මේ එතනින්. මගේ දෙමව්පියන්ට, මගේ පවුලේ අයට වගේම මගේ සහෝදරියන්ට මම මේ අවස්තාවේ ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මගේ ස්වාමී පුරුෂයාට මේ අවස්තාවේදි මම ස්තූති කරන්න ඕන වගේම මම ඔවුන්ගේ සියළු දෙනාගේම ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරනවා.“ යැයි නිහතමානීව අප හා පැවසීය.

ඇය සහභාගී වන මැරතන් තරග අගෝස්තු මස 14 වැනිදා ආරම්භ වන අතර ප්‍ර‍ථම වතාවට ශ්‍රී ලංකා නාමය නියෝජනය කරමින් සහභාගී වන ඇයට ඉතිහාස වාර්තාව තවත් අලංකාර කරමින් රන් පදක්කමක් ගෙන ඒමට හැකිවේවායි ThePapare.com අප සියළු දෙනා ඔබට සුභ පතන්නෙමු.

ඔබට ජය…………!

 තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට