මැතිව්ගේ ගමනත් නවති

403
Olympics swimming
පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මුලික වටයේ තරග අද ආරම්භ වූයේ පස්වරු 9.30 ට පමණයි. 

මැතිව් අබේසිංහ මුලික වටයේ දෙවන තරගයට හිදි ක්වු අතර එහිදී ඔහු තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තත්පර 50.96 කින් තරගය අවසන් කරමිනි.

මෙවර ඔලිම්පික් පිහිනුම් තටාකයේ දැඩි අඩුපාඩුවක් ලෙස විචාරකයන් පෙන්වාදෙන කරුණක් වන්නේ ආරම්භක සංඥාව ලබා දීමේදී ප්‍රේක්ෂකයන්ගේ නිහඩතාවය නිසි පරිදි නොතිබීමයි. මේ තරගයේදී ද, සිවුවන මංතීරුවේ තරග වැදුණු මැතිව්ට මෙන්ම අනෙක් තරගකරුවන්ට ආරම්භක සංඥාව ලැබුණේ ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව සම්පූර්ණයෙන් නිහඬ කිරීමකින් තොරවයි. කෙසේ වෙතත් මුල් මීටර් 50 තුල තරමක පසුබෑමකට ලක්ව සිටි මැතිව් අවසන් මීටර් 50 තුල වඩාත් තරගකාරී ස්වභාවයක් පෙන්වන ලදී. නමුත් ඔහුට තරගය අවසන් කරන්නට හැකිවූයේ මොසැම්බික් සහ සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට පසුපසිනුයි.

මෙම තරගයේ ජයග්‍රාහකයා තත්පර 50.65ක කාලයක් වාර්තා කළ අතර මැතිව් අබේසිංහ තම හොඳම දස්කම් අතරට පැමිණීමට සමත් වුයේ නම් ඔහු අභිබවා යෑමටද හැකියාව තිබුණි. මැතිව් ඔලිම්පික් B පරිසාධන මට්ටම සපුරා ගත්තේ තත්පර 50.53ක දස්කමක් දක්වමිනුයි.

සමස්ත කාල ගණනය අනුව ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව ඔහුට  අහිමිවන අතර මූලික වටයේ සියලු තරග ප්‍රතිඵල වලට  අනුව මැතිව් අබේසිංහට තරගකරුවන් 59 දෙනෙක් අතරින් 50 වන ස්ථානය හිමිවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිසාධන මට්ටම ඉක්මවා ඔලිම්පික් වරම් දිනු පළමු පිහිනුම් ක්‍රීඩකයා ලෙස මැතිව් අබේසිංහ මෙරටට අත්කරදුන් කීර්තියද, ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සඳහන් කල යුතුයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට