පළමු තරගයෙන් නිලූක පරාජය වෙයි

418
Niluka

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් බැඩ්මින්ටන් තරග බිමට පිවිසි නිලූක කරුණාරත්න හටත් පළමු තරගයෙන්ම පරාජය වැලඳ ගන්නට සිදුවිය.

පසුගිය ලිපි: මැතිව්ගේ ගමනත් නවති

පසුගිය වසර දෙකේදීම නොකඩවා බැඩ්මින්ටන් ලෝක ශූරතාවට හිමිකම් කියූ චීනයේ ලොං චෙන් පළමු වටයේ පළමු තරගයේ දීම නිලූකගේ ප්‍රතිවාදියා බවට පත් වූයේ නිලූක වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ මෙවර ඔලිම්පික් උළෙලට එක්වීම හේතුවෙනි.

මේ තරගයේ පළමු වටයේ සියලු ගෞරව දිනාගත් චෙන් ලකුණු 07 -21ක් ලෙස පහසුවෙන් නිලූකව පරාජය කරන්නට සමත් විය. තම පිරිනැමීමෙන් ලකුණු ලබාගන්නට නිලුක අපොහොසත් වූ අතර ඔහුගේ පිරිනැමීම් 7න් 6කදීම ලකුණු ලබා ගත්තේ චීන ක්‍රීඩකයායි.

නිලූක හා තරග වැදුනු චීන ක්‍රීඩක ලොං චෙන්.
නිලූක හා තරග වැදුනු චීන ක්‍රීඩක ලොං චෙන්.

පසුගිය ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම් ලාභියාද වන ලොං චෙන් ගේ තරග ජයග්‍රහණය සක් සුදක් සේ පැහැදිලි වූවද, දෙවන තරග වටයේදී නිලූක ඔහුට වඩා ලකුණු 2ක් ඉදිරියට යාමටද වරෙක සමත් විය. කෙසේ වෙතත් ලෝක ශූරයාට තරම් නිලූකගේ අත්දැකීම් සහ තාක්ෂණය ප්‍රමාණවත් නොවූ අතර චෙන් දෙවන තරග වටයද, ලකුණු 11ක වාසියක් සමගින් ජය ගන්නා ලදී.

මේ අනුව ලොං චෙන් තරග වට 2 -0 ක් ලෙසින් මේ තරගය ජය ගන්නා ලදී.

ඔලිම්පික් බැඩ්මින්ටන් මූලික වටයේ P කාණ්ඩයෙන් තරග වදින නිලූකගේ මීළඟ අභියෝගය වන්නේ ජගත් බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 49වන ස්ථානයේ පසුවන ග්වාතමාලාවේ කෙවින් කෝඩන් ක්‍රීඩකයායි. එම තරගය  ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (13) උදෑසන 4.00ට පැවැත්වෙන අතර, පළමු වටයේ අවසන් තරගයේදී නිලූක ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩක වර්ගීකරණයේ 58වන ස්ථානයේ පසුවන පෝලන්තයේ එඩ්රියන් ජියෝල්කෝ සමගින් තරග වදිනු ඇති. එම තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් 15 වන සඳුදා අලුයම 12.15ටයි.

වරෙක ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩක ශ්‍රේණි ගත කිරීමේ පළමු 35 දෙනා අතරටද අයත්ව සිටි නිලූක කරුණාරත්න දැන් එම වර්ගීකරණයේ හිමි කරගෙන සිටින්නේ 93වන ස්ථානයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට