ක්‍රීඩා පිටියම රතු පාටින් වැසි යන මොකද්ද මේ #RedforRuth දිනය

264

එංගලන්ත-බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය Ruth Strauss පදනම වෙනුවෙන් වෙන්කිරීමට මේ වන විට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇත. 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙන ටෙස්ට් තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය එළඹෙන ජූලි මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා එංගලන්තයේ Manchester නුවර Old Trafford ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එරට ක්‍රිකට් ආයතනය පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ ජූලි 25 වැනි දිනට යෙදෙන එම තරගයේ දෙවන දිනය මෙම වසර සඳහා වන #RedforRuth දිනය ලෙස නම්කර එය Ruth Strauss පදනම වෙනුවෙන් වෙන්කර ඇති බවයි.

සර් Andrew Strauss

එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සර් Andrew Strauss විසින් දුම්පානය නොකර වැළඳෙන පෙනහළු පිළිකාවකින් මියගිය සිය ආදරණීය බිරිඳ Ruth Strauss සිහිවීම උදෙසා මෙම Ruth Strauss පදනම පිහිටුවා ඇත. 

2018 වසරේ මුල් භාගයේ දී Ruth හට වැළඳී ඇතැයි හඳුනා ගැනුණු දුම්පානය නොකරන්නන් හට වැළඳෙන මෙම දුර්ලභ ගණයේ පෙනහළු පිළිකා තත්වය සුව කළ නොහැකි රෝග තත්වයකි. ඒ අනුව 46 වැනි වියේ පසු වූ Ruth එම වසරේ දෙසැම්බර් මාසයේ දී මෙලොව හැරදා යන විට ඇය වයස අවුරුදු 10 සහ 13 කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් ද විය. 

ඒ ආකාරයට දුම්පානය නොකරන්නන් හට වැළඳෙන පෙනහළු පිළිකා තත්වයන් වලට අදාළ ගවේෂණ හා පර්යේෂණ සිදු කිරීම, ඒ පිළිබඳ ඇති දැනුවත්භාවය ඉහළ නැංවීම හා එවන් රෝග තත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටත් අවශ්‍ය මානසික සහ වෘත්තීමය සහය ලබා දීම යන අරමුණු මූලික කරගෙන Andrew විසින් Ruthව සිහිකරමින් මෙම පදනම පිහිටවනු ලැබීය. 

“Ruth එක්ක එකතු වෙලා ඇයගේ ජීවිතයේ අන්තිම මාස කිහිපය තුළ තමයි මේ පදනම හදන්න අපිට අදහසක් ආවේ. මේ භයානක රෝගයෙන් පෙළෙන මිනිස්සුන්ට උදව් කරන්න Ruthට ගොඩක් ලොකු ඕනෑකමක් තිබුණා. ඒ වගේම අසරණ අයට උදව් වෙන වැඩවලට Ruth කොහොමත් ගොඩක් කැමතියි. ඉතින් අපිට වඩා අපහසුතා තියෙන ඒ වගේ අයට උදව් වෙන එක තමයි මේ Ruth Strauss පදනමේ අරමුණ.”

Ruth Strauss පදනම නිර්මාණය කිරීම පිළිබඳව අදහස් දක්වමින් Andrew පවසා ඇත. 

එංගලන්තය තුළ වසරකට දරුවන් 40,000කට අධික සංඛ්‍යාවකට සිය දෙමාපියන්ගෙන් එක් අයෙකු අහිමි වීමේ ඛේදාන්විත සිදුවීමට මුහුණ පෑමට සිදුවන අතර සාමාන්‍යයක් ලෙස ගත්කල එය දිනකට දරුවන් 140කට ආසන්න සංඛ්‍යාවකි. 

තවදුරටත් එරට තුළ වසරකට තමන්ගෙන් යැපෙන දරුවන් සිටින දෙමාපියන් 14,000කට ආසන්න සංඛ්‍යාවක් සුව කළ නොහැකි පිළිකා රෝග තත්වයකට ගොදුරු වන බව ද සිදු කර ඇති පරීක්‍ෂණ කටයුතුවලින් අනාවරණය වී ඇත. සමස්තයක් ලෙස ගත්කල වසරකට එරට පෙනහළු පිළිකා රෝගීන් 47,000ක් වාර්තා වන අතර ඉන් 15%ක් වැනි සංඛ්‍යාවක් එක් වතාවක් හෝ දුම්පානය කර නොමැති පුද්ගලයින් ය. 

Andrew සහ Ruth Strauss

මෙම දුම්පානය නොකරන පෙනහළු පිළිකාවලට ගොදුරු වන සංඛ්‍යාව එංගලන්තය තුළ කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පවතින අතර ඒ අතරිනුත් වයස 55ට අඩු කාන්තාවන්ට එය වැළඳීම වඩාත් ඉහළ අගයක් ගනී. 

මෙහි භයානක බව කෙතරම් ද යත් මෙවන් දුර්ලභ පෙනහළු පිළිකා තත්වයක් වැළඳුණු පසු එය වැළඳුණු රෝගීන් 20 දෙනෙකුගෙන් අවුරුදු 10කට වැඩි කාලයක් ජීවත් වීමේ වාසනාව ලබන්නේ ඉන් එක් අයෙකු පමණි. 

ඒ අනුව එංගලන්තය තුළ මෙම පැතිකඩ ආවරණය කිරීමේ සංවිධානයක විශාල අඩුපාඩුවක් පැවති නමුත් Andrew විසින් පිහිටුවා ඇති මෙම Ruth Strauss පදනම මේ වන විට එම අඩුපාඩුව පුරවමින් එරට තුළ විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී. 

මෙම පදනමට ආධාර මුදල් එකතු කර දීමේ අරමුණින් එය පසුගිය වසරේ දී #RedforRuth දිනය ලෙස පළමු වරට ක්‍රිකට් පිටියට හඳුන්වා දෙනු ලැබුවේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය වසරේ දී පැවති ඓතිහාසික අළුබඳුන ටෙස්ට් තරගාවලිය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන Lord’s ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ය. 

එහි දී තරගකාරීත්වය පසෙකලා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් Ruth Strauss පදනමේ ලාංඡනය මෙන්ම ක්‍රීඩකයින්ගේ නම් සහ අංක ද රතු පැහැයෙන් ඇතුළත් කර තිබූ කමිස සහ හිස්වැසුම්වලින් සැරසී ක්‍රීඩා කිරීමට කටයුතු කරනු ලැබීය. අනතුරුව තම කමිස සහ හිස්වැසුම් වල අදාළ ක්‍රීඩකයින් අත්සන් තබා ඒවා වෙන්දේසි කිරීමට කටයුතු කෙරුණේ Ruth Strauss පදනම වෙත ආධාර මුදල් එකතු කරගැනීම අරමුණු කරගෙන ය. 

පසුගිය වසරේ #RedforRuth දිනයේ දී Andrew විසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙත Ruth Strauss පදනමේ ලාංඡනය ඇතුළත් රතු පැහැති හිස්වැසුම් ලබා දෙමින්

මෙම සියල්ල හරහා පසුගිය වසරේ දී පවුම් 550,000කට අධික අති විශාල ආධාර මුදලක් පදනම වෙත එකතු වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් Andrew පවසා සිටියේ;

“අද අපිට ගොඩක් විශේෂ වගේම සංවේදී දවසක්. Ruth කියන්නේ ඉතාම හොඳ මවක්, බිරිඳක් වගේම තවත් ගොඩදෙනෙක්ට හොඳ යෙහෙළියක්. අපිට ලැබුණු මේ විශාල සහයෝගය දකින්න ඇය අද මෙතැන හිටියා නම් ඇය ගොඩක් සතුටු වේවි. ක්‍රීඩකයින්, ක්‍රීඩාලෝලීන්, සාමාන්‍ය ජනතාව වගේම ක්‍රිකට් පවුල මේ විදිහට එකතු වෙනවා දකින්න ලැබීම අපිට ලොකු සතුටක්.”

ඒ අනුව එළඹෙන ජූලි 25 වැනි දින එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර Old Trafford ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මෙම වසර සඳහා වන #RedforRuth දිනය ලෙස නම්කර ඇති අතර එහි දී පසුගිය වසරේ සිදු කෙරුණු කටයුතුවලට අමතරව පිටියේ කඩුලු සහ හතරේ සීමා රතු පැහැ ගැන්වීමට කටයුතු කෙරෙනු ඇත. 

තවදුරටත් ‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ මෙම තරගාවලිය සඳහා ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය තුළට ඇතුළත් කරනොගන්නා හෙයින් ක්‍රීඩාංගණය තුළ ඇති දර්ශන පථය රතු පැහැයෙන් සැරසී සිටින ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩා සමාජ ප්‍රදර්ශනය කිරීමට යොදාගැනීමට කටයුතු සූදානම් කර ඇත. 

#RedforRuth දිනය වෙනුවෙන් පසුගිය වසරේ රතු පැහැති ඇඳුම් වලින් සැරසී Lord’s පිටියට එක්වූ එංගලන්ත ක්‍රිකට්ලෝලීන්

එමෙන්ම සියලුම ක්‍රීඩා සමාජ සඳහා මෙම වසරේ දී ඔවුන් විශේෂ අභියෝගයක් ද සූදානම් කර ඇති අතර එහි දී Twitter සමාජ වෙබ් අඩවියේ #RedforRuth සහ @Ruthstraussfdn ‘tag’ කරනු ලබන ක්‍රීඩා සමාජ අතරින් Andrew විසින් තෝරාගනු ලබන ජයග්‍රාහී ක්‍රීඩා සමාජය එම තරගය අතරතුර Sky Sports නාලිකාව තුළ පෙන්වීමට කටයුතු කෙරෙනු ඇත. 

තවදුරටත් Andrew සහ Ruth Strauss පදනමේ කීර්තිමත් සන්නාම තානාපතිවරයෙක් එම ක්‍රීඩා සමාජය වෙත ගොස් ඔවුන් සමඟ පුහුණුවීම් සැසි ඇතුළු තවත් කටයුතු රාශියක නිරත වීමට ද අනතුරුව කටයුතු සිදුකෙරෙනු ඇත.  

මේ පිළිබඳව අදහස් දක්වමින් Andrew පවසා සිටියේ;

“ගිය අවුරුද්දේ මුළු ක්‍රිකට් පවුලෙන්ම අපිට ලැබුණු සහයෝගය අපිට ලොකු සතුටක් වගේම ඒක ලොකු ගෞරවයක්. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට ලැබුණු ඒ සහයෝගය සහ එකමුතුකම මේ අවුරුද්දෙත් Ruth Strauss පදනමට ආධාර මුදල් එකතු කරන්න Red for Ruth දිනය පවත්වද්දී අපිට ඒ විදිහටම ලැබෙයි කියලා. 

ගිය අවුරුද්දේ තිබ්බ ඒ දිනයට වඩා මේ අවුරුද්දේ දිනය වෙනස් වෙයි. ඒත් හැමෝටම අපහසු මේ වගේ කාලෙක මේ දිනය මේ අවුරුද්දෙත් යථාර්ථයක් කරගන්න සහයෝගය ලබා දුන්නා එංගලන්ත ක්‍රිකට් ආයතනයට වගේම Lancashire ක්‍රිකට් ආයතනයටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”

තවදුරටත් මේ පිළබඳව අදහස් දක්වමින් එංගලන්ත නායක Joe Root පවසා සිටියේ;

“Andrew කියන්නේ අපේ ක්‍රීඩාවේ සැබෑ පුරාවෘත්තයක්. ඔහු සහ ඔහුගේ පවුල පහුකරපු ඒ අපහසු කාලය ගැන අපිට හිතාගන්නත් අමාරුයි. ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් ජීවිතවල ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් මේ වගේ තත්වයන්ට මුහුණ දෙන තවත් පවුල් වලට අපට එකතු වෙලා උදව් කරන්න පුළුවන්. ඒ නිසා එංගලන්තය සහ වේල්සය පුරා ඉන්න අපේ ක්‍රීඩාලෝලීන්ගෙන් මම ඉල්ලා සිටිනවා එම දිනය රතු පැහැ ගන්වලා මේ වටිනා පදනමට සහයෝගය දක්වන්න කියලා.”

තවත් කියවන්න;

එංගලන්තය වෙනුවෙන් වසර 10කට ආසන්න කාලයක් පුරාවට ටෙස්ට් තරග 100කට සහ එක්දින තරග 127කට ක්‍රීඩා කරමින් එහි දී ලකුණු 7037 සහ 4205 බැගින් වාර්තා කරනු ලැබූ Andrew එරට ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ටතම නායකයින් අතරින් කෙනෙකු ලෙස සැලකේ. ඔහු එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ සුවිශාල මෙහෙය අගයමින් ඔහුට ‘Officer of the Most Excellent Order of the British Empire’ (OBE) ගෞරව නාමයත්, තවදුරටත් නයිට් පදවියකුත් ප්‍රදානය කර ඇත. 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර එළඹෙන ජූලි මස 24 වන දින ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගය එහි දෙවන දිනට යෙදෙන #RedforRuth දිනයට අමතරව තරගාවලියේ සමස්ත ජයග්‍රහණය තහවුරු කරගැනීම උදෙසා ද කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනු ඇත. මේ වන විට තරගාවලිය තුළ එක් තරගය බැගින් ජයග්‍රහණය කරමින් කණ්ඩායම් දෙකම සම තත්වයක පසුවෙති. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<