චාමර රියෝ බිමේ ශ්‍රී ලංකා නාමය ඔසවා තබයි

849
Chamara Nuwan

ඔලිම්පික් තරග බිමේ ශ්‍රී ලංකාවට සුභ දායක නොවූ ඊයේ දිනය (08) තුළ ශ්‍රී ලංකා නාමය බිඳක් හෝ ඔසවා තබන්නට ජුඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන සමත් විය. ඒ තම කිලෝග්‍රෑම් 73 බර පන්තියේ අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමෙන් පසු හිටපු ඔලිම්පික් ශූරයා හමුවේ ද ප්‍රබල සටනක් ලබා දෙමිනුයි.

පසුගිය ලිපි: ඔලිම්පික් යන්න කලින්

චාමර ඊයේ අවසන් 32දෙනාගේ වටයේ තරගයට සහභාගී වූයේ ඇමරිකන් සැමෝවා රාජ්‍ය ක්‍රීඩක බෙන්ජමින් වෝටර්හවුස් සමගිනි. එම තරගයේ මුල සිටම ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල චාමර තම ප්‍රතිවාදියාව දෙවරක් තරග බිමෙන් ඉවතට ගෙන යමින් ශිදෝ (නීති විරෝධී ක්‍රීඩා විලාශයට ලැබෙන දඬුවම් ලකුණු)  අවස්ථා ලබා දීමට සමත් වූ අතර, වෝටර්හවුස්ගේ අවම සටන්කාමී ක්‍රීඩා විලාශය (Non-Combatively) හේතුවෙන් ඔහුට තවත් ශිදෝ දඬුවම් ලකුණු 2ක් හිමි විය. මේ අතර චාමර එක වරක් ප්‍රතිවාදියාව බිම හෙලමින් ලකුණු ලබා ගන්නට සමත් විය.

ප්‍රතිවාදියාට දඬුවම් ලකුණු 4ක් හිමිවීමත් සමග තරගයේ ජයග්‍රහණය චාමර වෙත පිරිනැමුණේ, ඔලිම්පික් ඉතිහාසයේ පළමු ශ්‍රී ලංකා ජුඩෝ නියෝජනය, අවසන් 16 දෙනා අතරටත් ගෙන යමින්.

අවසන් 16 දෙනාගේ වටයේදී චාමරගේ ප්‍රතිවාදියා වූයේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කිලෝග්‍රෑම් 66 බර පන්තියේ ශූරයා වූ ජෝර්ජියාවේ ලෂා ශව්දතුඅශ්විලී ක්‍රීඩකයායි. නියමිත මිනිත්තු 5න් හරි අඩකටත් වඩා වැඩි කාලයක් ඔහුට ප්‍රබල සටනක් දුන් චාමරව බිම හෙලමින් ඔහුගේ ඉදිරි ගමන අවසන් කළ ලෂා, එම ඉසව්වේ ලෝකඩ පදක්කම දක්වා ගමන් කරන්නටද සමත් විය.

කෙසේ වෙතත් මෙම ඉසව්වේ අවසන් 16 දෙනා අතරට ඇතුලත් වූ ජගත් ජුඩෝ ක්‍රීඩක වර්ගීකරණයේ පළමු 300 දෙනා අතරට අයත් නොවන එකම ක්‍රීඩකයා බවට පත් වෙමින් චාමර ශ්‍රී ලංකාවට හිමි කරදුන් කීර්තිය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි තරම් වටිනා ජයග්‍රහණයකි.

වායු රයිෆල්

මංගලට අවසන් ස්ථානය.

පිරිමි මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා එක්වූ මංගල සමරකෝන් හට එහිදී හිමි වූයේ අවසන් (50 වන) ස්ථානයයි. ඔහු එම තරගයේ අවස්ථා 6 කදී මුළු ලකුණු 589.6ක් ලබා ගන්නට සමත් විය.

බර ඉසිලීම

සුදේශ් අසාර්ථක වෙයි.

පිරිමි කිලෝග්‍රෑම් 62 බර පන්තියේ බර ඉසිලීමේ තරගයට සහභාගී වූ සුදේශ් පීරිස්ට එහිදී සටනකින් තොරවම තරගයෙන් ඉවත් වීමට සිදුවිය. ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 120ක බරක් තම ආරම්භක උත්සාහය ලෙස තෝරාගත් සුදේශ් හට අවස්ථා 3කදීම එම දස්කම සාර්ථක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු තරගයෙන් ඉදිරියට යාමට සුදුසුකම් නොලැබුණි. රියෝ නුවරින් වාර්තා වන්නේ පලමු ස්නැච් උත්සාහයේදී ඇතිවූ පාදයේ ආබාධයක් සුදේශ්ගේ මෙම අසාර්ථක වීමට හේතුවක් වූ බවයි.

පිහිනුම්
කිමිකෝත් ඉවතට.

මේ අතර, ඔලිම්පික්  තරග ආරම්භ වූ පළමු දිනයේදී කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වූ  ක්‍රීඩිකා කිමිකෝ රහීම්ට එහිදී හිමි වුනේ 4වන ස්ථානයයි. කිමිකෝ එහිදී වාර්තා කළ කාලය මිනිත්තු 1 යි තත්ත්පර 04.21ක්. සමස්ත කාල ගණනයට අනුව ඇයට 28 වන ස්ථානය හිමිවු නමුත් සිය ක්‍රීඩා දිවියේ ඇය වාර්තා කල හොදම පෞද්ගලික දක්ෂතාවය වන්නේ මෙයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට