ඔලිම්පික් යන්න කලින්

609
Sri Lankan Olympic team

එළඹෙන රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ විශේෂ උත්සවයක් අද උදෑසන කොළඹ ඔලිම්පික් නිවහනේදී පැවැත්විය.

මෙවර ඔලිම්පික් උළෙලට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වන අතර ඒ අතරින් සිව් දෙනෙක් පරිසාධන මට්ටම ඉක්මවා ඇති අතර, අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිව ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල් සඳහා ලබාදෙන වයිල්ඩ් කාඩ් (Wild Card) ක්‍රමය මගිනි.

මැරතන් ඉසව්වට එක්වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ නිලූකා ගීතානිට අමතරව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන සහ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් ද රියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතව අැත.

කිමිකෝ රහීම් සහ ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ පළමු ශ්‍රී ලාංකික පිහිණුම් ක්‍රීඩකයා වන මැතිව් අබේසිංහ රියෝ පිහිණුම් තටාකයේ ශ්‍රී ලංකා නියෝජනය සටහන් කරනු අැත.

සුදේෂ් පීරිස් ඔලිම්පික් උළෙලට එක්වන්නේ බර ඉසිලීමේ තරග ඉසව්වෙනි.

අද පැවති උත්සවයට පිහිනුම් කණ්ඩායම, අනුරාධ ඉන්ද්‍රජිත් සහ සුදේශ් පීරිස් සහභාගී වුයේ නැත. සුදේශ් ජපානයේ සහ කිමිකෝ තායිලන්තයේ පුහුණුව ලබන අතර ඇමරිකාවේ පදිංචි අනුරාධ මේ දිනවල කෙන්යාවේ විශේෂ පුහුණුවක නිරත වීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් මේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ අගෝස්තු 2 සහ 3 දින වලදී රියෝ ද ජැනයිරෝ නුවර බලා පිටත්ව යාමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නිල ඇඳුම්, ක්‍රීඩා උපකරණ සහ මූල්‍ය පරිත්‍යාග ප්‍රදානයද මෙහිදී සිදුකෙරුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ බ්‍රසීල මහකොමසාරිස්වරිය ගේ ප්‍රධානත්වයෙන්.

රැස්ව සිටි පිරිස ඇමතු ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරි ඔලිම්පික් තරගාවලි සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිලිබඳ අනාවරණ කළේ මෙලෙසිනි.

අපි හැමදාම ලංකාවෙන් ගියේ 9 දෙනෙක් විතරයි. මේ පාරත් අපිට 9 දෙනයි. එයිනුත් 4 දෙනෙක් අපිට ඇත්තටම පරිසාදන මට්ටම අභිබවා තිබිච්ච අය. අපි සියළුදෙනා බලාපොරොත්තු විය යුත්තේ 2020 – 2024 යන ක්‍රීඩා තරගාවලි ගැන. අපි දැන්ම කල්පනා කරලා මේක අපිට 9 ක් වෙනුවට 24 ක් 25 ක් 26 ක් එකතු කරගන්න පුළුවන්නම් රට වෙනුවෙන් මං හිතන්නේ ඒක තමයි අපේ අභියෝගය බවට පත්වෙලා තියෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යංශය විදිහට ඒකට අපි සූදානම්. අවුරුදු 13ට අඩු දරුවෝ ලංකාවේ 375,000 ක් හදුනාගෙන එයින් 50,000 ක් සංචිතගත කරලා 2020 – 2024 ඔලිම්පික් තරගාවලි සඳහා සකස් කරන වැඩපිළිවෙලට අපි මූලික ආරම්භය අරගෙන තියෙනවා.

2016 රියෝ ඔලිම්පික් උළෙල අගෝස්තු 05 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. ජගත් මලල ක්‍රීඩා සංගමය පනවා ඇති තහනම හේතුවෙන් රුසියානු මලල ක්‍රීඩා කණ්ඩායමේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර මෙවර තරගාවලියට අවතැන්වූවන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද සහභාගී වීම විශේෂත්වයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට