ඩන්කන් වයිට්‌ගේ ඔලිම්පික්‌ පදක්‌කමේ ඇසින් දුටු කතාව

5820
how duncan white won bronce meddle in London Olympic

ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික්‌ පදක්‌කම දිනාදුන් ඩන්කන් වයිට්‌ 1948 ලන්ඩන් නුවරදී කළ වික්‍රමය අපට පැවසීමට අද ඉතිරිව සිටින්නේ එය සියසින් දුටුවන්ගෙන් අතළොස්‌සක්‌ පමණයි. ඩන්කන් වයිට්‌ගේ නායකත්වයෙන් 1948 ඔලිම්පික්‌ ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ලාබාලම සාමාජිකයා වූයේ මීටර 200 සහ 400 තරග සඳහා සහභාගි වූ 19 හැවිරිදි ජෝන් ද සේරම්ය.

පසු කලෙක එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ධුරය දැරූ ජෝන් ද සේරම් ලංකාවෙන් බැහැරව දිවිගෙවන අතර ඔහු 1950 පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේදී හතරවන ස්‌ථානයට පත්ව ශ්‍රී ලංකා 400*4 සහය දිවීමේ කණ්‌ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

මීට වසර හතරකට ඉහතදී විද්‍යුත් තැපෑල හරහා කරන ලද අදහස්‌ හුවමාරුවකදී ජෝන් ද සේරම් පැවසුවේ දින ගණනක්‌ ගතවුණු ලන්ඩන් ඔලිම්පික්‌ ගමන පුරාවට ඩන්කන් වයිට්‌ තම තරගය සඳහා සූදානම් වු බවයි.

අපි ලන්ඩන් නුවරට ගියේ මුහුදු මාර්ගයෙන්. මට මතක විදියට අපි ගියේ කර්තේ කියන භාණ්‌ඩ ප්‍රවාහන නවුකාවෙන්. මම හිතන්නේ ඔලිම්පික්‌ ටීම් ඒකට අමතරව ඒකෙ ගියේ එහි කැප්ටනුයි සේවක පිරිසයි විතරයි. මම හිතන්නේ ඒක ලෝක යුද්ධයෙන් ඉතිරි වෙච්ච් නැව් අතළොස්‌සෙන් එකක්‌. මුළු ගමනටම නැවෙන් අපි බැස්‌සේ එකපාරක්‌ විතරයි. ඒ ඒදන් වලදී (රතු මුහුදේ නැගෙනහිර අන්තයේ පිහිටි යේමනියේ වරායකි). එයින් පස්‌සේ අයෙත් අපි බැස්‌සේ එංගලන්තේ ටිල්බරි වලදී. එහෙදි අපිව බොහොම කරුණාවෙන් පිළිගත්තේ එහි නිලධාරීන්. මුළු ගමන පුරාම අපි ශක්‌තිය පවත්වාගන්න ව්‍යායාම් කරපු එකට අමතරව මට ඉතාම තදින් මතක තියෙන්නේ අපි බොහොම නිස්‌කලංකව රතුමුහුද හරහා සහ සුවස්‌ ඇළ හරහා ගමන් කළ ආකාරය ගැනයි. දෙපසින් අනන්තයට විහිදුන කාන්තාර භූමියට එපිටින් ඉර නැගීමත් බැසීමත් විටෙක විවිධ දේ විකිණීමට නැව වටා රොක්‌වන කුඩා බෝට්‌ටුත් මට තවම මතකයි. අරාබි-ඊශ්‍රායෙල් යුද්ධයෙන් මාස කිහිපයකට පසු එය හරිම නිස්‌කලංක වට පිටාවක්‌.

ඩන්කනුයි මමයි ගියේ එකම කැබින් එකක. අපි ගොඩක්‌ දේවල් කතා කළා. අපි කොයි විදියට ලන්ඩන් නුවරදී තරග වදීවිද කියන එක අපි නැවත නැවත කතා කරන්ට යෙදුනු මාතෘකාවක්‌.

දවසක්‌ ඩන්කන් එකපාරටම කිව්ව එයා තරග වදින්නේ කඩුලු පැනීමට විතරයි කියල. එයාගේ මතය වුණේ ඔලිම්පික්‌ වගේ අති තරගකාරී ක්‍රීඩා තරගයක අපි වගේ කණ්‌ඩායමකට කරන්න පුළුවන් හොඳම දේ එක්‌ ඉසව්වක්‌ හොඳින්ම කිරීම කියල ඔහුට හොඳටම ඒත්තු ගිහිල්ල තිබුණේ ඔහුට වඩාත්ම ඵලදායි දෙයක්‌ කරන්න පුළුවන්නම් ඒ කඩුළු පැනීමෙන් කියල.

තරග දෙකකට සහභාගී වුණෙත් එක තරගයක්‌වත් තමන්ගේ උපරිමය කිරීමට ලැබෙන එකක්‌ නැහැයි කිලය තමයි ඩන්කන් විශ්වාස කළේ.

මගේ මතකයේ රැඳී තියෙන්නේ ඩන්කන්ගේ තරගයේ අවසන් කොටස පමණයි. ඩන්කන් අවසන් කඩුල්ල වෙත එන ආකාරයත් ඇමෙරිකානු ජාතික කොච්රන් ඔහුට මදක්‌ ඉදිරියෙන් එන ආකාරයත්.

කොච්රන්ගේ දෙපා වේගයෙන් එහා මෙහා යන කතුරක ස්‌වරූපයෙන් තරගයේ ඉදිරියට ගෙනගියා. එය ඉතා උස ක්‍රීඩකයන්ට ම උරුම වන තාක්‌ෂණයක්‌.

ඩන්කනුත් ඔහුටම ආවේනික වුණු ස්‌වරූපයෙන් වේගයෙන් ඉදිරියට ඇදුණා. නමුත් අවසන් කඩුල්ල අසලට එනකොට ඔහුගෙ දැඩි වෙහෙසකර බවක්‌ පෙන්නුම් කළා. මට මතක තියෙන්නේ තරගයේ අවසාන යාර 40 ක විතර ප්‍රමාණය සහ ඩන්කන් වේගයෙන් ඉදිරියට ඇදුනු ආකාරය පමණයි.

තවත් කට්‌ටිය තරගයේ යෙදුනත් මගේ දෑස්‌ රැඳිල තිබුණේ ඔහු වෙතම පමණයි.

මට මතකයි අවසන් මීටර 10 දී විතර ඩන්කන්ගේ කම්මුල බෙල්ල දෙසට ඇදෙන ස්‌වරූපයක්‌ පෙන්නුම් කළ බව. ඔහු ඊට ඉස්‌සර එහෙම කරනවා මම දැකල තිබුණේ නැහැ. සමහර විට ඒ ඔහු තමන්ගේ උපරිමය කිරීමට දරපු උත්සාහය නිසා වෙන්නට ඇති. නමුත් කොච්රන් තමයි ජයග්‍රහණය කළේ. ඩන්කන් ඉතාම දක්‌ෂ විදියට රිදී පදක්‌කම ජයග්‍රහණය කළා.

ඒ මොහොත මම නැවත නැවත ආවර්ජනය කරන මොහොතක්‌.

ලබන සතියේ තවත් කොටසක්‌.

තවත් පුවක් සඳහා පිවිසෙන්න