තරගාවලිය අහිමි වුවත් නිලුකට වටිනා ජයක්

428
Niluka at Rio Olympic

රියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි කේවල බැඩ්මින්ටන් තරගාවලියේ මූලික වටය සඳහා P කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න තම අවසන් තරගයේදී වටිනා ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. ඒ පෝලන්තයේ ඒඩ්‍රියන් ජියෝල්කෝව තරග වට 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

පසුගිය ලිපි: පළමු තරගයෙන් නිලූක පරාජය වෙයි

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම පැවති මේ තරගයේ පළමු තරග වටය ලකුණු 21 – 19ක් ලෙස ජයගන්නට නිලුක සමත් විය. දෙවන තරග වටයේදී ජියෝල්කෝගෙන් විශාල අභියෝගයක් එල්ල වුවද අතිරේක ලකුණු සංඛ්‍යාවක් දක්වා ඇදීගිය එම වටයද නිලූක ජයගත්තේ ලකුණු 24 – 22ක් ලෙසිනි.

Niluka at Rio Olympicපළමු වටයේ නිලූක සහභාගී වූ පළමු තරගයේදී චීනයේ ලොං චෙන් හමුවේ පරාජය වූ අතර ග්වාතමාලාවේ කෙවින් කෝඩන් සමග තවත් තරගයක් පැවැත්වීමට නියමිතව තිබුනද කෝඩන් තරගාවලියෙන් ඉවත් වීම නිසා එම තරගය අවලංගු කෙරිණි.

මූලික වටයේ කාණ්ඩ 13 ක් පැවති අතර ඉන් ජයගත් ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ඉහලම ස්ථාන 3 දරන ක්‍රීඩකයන් කෙලින්ම අර්ධ අවසන් පූර්ව වරයට සුදුසුකම් ලබාගත් අතර ඉතිරි කාණ්ඩ 10 ජයගත් ක්‍රීඩකයන් අතර පැවැත්වෙන තරග වලින් අර්ධ අවසන් පූර්ව වටයේ ඉතිරි ස්ථාන 5 සඳහා ක්‍රීඩකයන් සුදුසුකම් ලැබීමට නියමිතයි.

කෙසේ වෙතත් P කාණ්ඩයේ දෙවැන්නා ලෙස පළමු වටය අවසන් කළ නිලූකට ඉදිරි වටයට යාමේ අවස්ථාව අහිමි විය.

නිලූකාට 129වන තැන –

කාන්තා මැරතන් තරගයට ඊයේ සහභාගීවූ ශ්‍රී ලංකාවේ නිලූකා ගීතානි රාජසේකරට එහිදී හිමිවුණේ 129වන ස්ථානයයි. ඇය තරගය අවසන් කරන්නට ගත කළ කාලය පැය 3යි මිනිත්තු 11යි තත්ත්පර 05ක්. කාන්තා මැරතන් තරගයට ක්‍රීඩිකාවන් 159 දෙනෙක් සහභාගී වූ අතර ඉන් ක්‍රීඩිකාවන් 24 දෙනෙක් තරගය අවසන් කිරීමට සමත් නොවීය.

කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගත්තේ පැය 2යි මිනිත්තු 24 තත්ත්පර 4කින් තරගය නිම කල කෙන්යාවේ ජෙලගාට් සුම්ගොං ක්‍රීඩිකාවයි. එහි රිදී පදක්කම බහරේන් ක්‍රීඩිකාවකටත් ලෝකඩ පදක්කම ඉතියෝපියානු ක්‍රීඩිකාවකටත් හිමි විය.

 තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට