Wisden නම් කළ ආසියානු කුසලාන කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්!

Asia Cup 2023

7923

ඊයේ (17) නිමා වුන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරා ගනිමින් ලෝ ප්‍රකට ක්‍රිකට් සඟරාවක් වන Wisden මගින් තරගාවලියේ කණ්ඩායම නම් කර තිබෙනවා. 

කිසිවෙකු හෝ නොසිතු නොපැතූ අයුරින් ඊයේ දිනයේ පැවැත්වුණු අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම අතිශය පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. 

එකඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ඊයේ දිනයේ දී කැපී පෙනෙන දක්ෂතාවක් පෙන්වීමට සමත් නොවුනත්, සමස්ත තරගාවලිය පිළිබඳ සැලකූ විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වුනා. 

පිතිකරණ අංශයෙන් කුසල් මෙන්ඩිස් තරගාවලියේ දෙවැනි ඉහළම ලකුණු ලාභියා වන විට, සදීර සමරවික්‍රම (ලකුණු 215) එහි තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට මතීෂ පතිරණ (කඩුලු 11) සමත් වූ අතර එහි තෙවැනි ස්ථානය දුනිත් වෙල්ලාලගේ හට හිමි වුනා. 

කෙසේ වෙතත් තරගාවලිය අවසන් වූ පසු Wisden විසින් නම් කළ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වී ඇත්තේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි. 

කුසල් මෙන්ඩිස්  

ලකුණු: 270, සාමාන්‍යය: 45, ප්‍රහාරාත්මක වේගය: 85.71, අර්ධ ශතක: 3 

මෙම තරගාවලියේ දී අර්ධ ශතක තුනක් වාර්තා කිරීමට සමත් වූ මෙන්ඩිස් හට අවාසනාවන්ත ලෙස ශතක දෙකක් අහිමි වී යාම තරමක් විශේෂ කරුණක්. 

ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 92ක් සහ පාකිස්තානයට එරෙහිව ලකුණු 91ක් ලබා සිටිය දී මෙන්ඩිස් හට අවාසනාවන්ත ලෙස සිය ඉනිම් නිමා කිරීමට සිදු වුනා. 

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ වගකීම මෙන්ඩිස් විසින් සාර්ථකව භාර ගත් බවක් පෙනෙන්නට තිබුණා. 

දුනිත් වෙල්ලාලගේ  

ලකුණු: 86, පිතිකරණ සාමාන්‍යය 28.66, ප්‍රහාරාත්මක වේගය: 78.2 

කඩුලු: 10, සාමාන්‍යය 17.9 

මෙවර තරගාවලියේ දී මුළු ක්‍රිකට් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේව හඳුන්වා දිය හැකි. විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව පන්දුවෙන් කඩුලු 5ක් දවා ගනිමින්, පිත්තෙන් ලකුණු 42ක් ලබා ගනිමින් දුනිත් දැක්වූ තුන් ඉරියව් දක්ෂතා පිළිබඳ බොහෝ දෙනා සිය පුදුමය පළ කළා. 

මීට අමතරව Wisden විසින් නම් කළ මෙම කණ්ඩායමට තරගාවලියේ ශූරතාව දිනා ගත් ඉන්දීය කණ්ඩායමෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වී තිබෙනවා. 

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස Shubman Gill සහ ඉන්දීය නායක Rohit Sharma , මැදපෙළ වෙනුවෙන් Hardik Pandya සහ KL Rahul , පන්දු යැවීම වෙනුවෙන් තරගාවලියේ වීරයා වූ Kuldeep Yadav සහ ඊයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කර දැමූ Mohammed Siraj ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා. 

ඊට අමතරව පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Haris Rauf සහ පාකිස්තාන මැදපෙළ ශක්තිමත් කළ Mohammad Rizwan යුගලයත්, බංග්ලාදේශ නායක Shakib Al Hasan හටත් මෙම කණ්ඩායමේ ඉඩ වෙන් වී තිබෙනවා. 

Wisden සඟරාව විසින් නම් කළ 2023 ආසියානු කුසලාන කණ්ඩායම මෙසේයි; Shubman Gill, Rohit Sharma, Kusal Mendis, Mohammad Rizwan, KL Rahul, Shakib Al Hasan, Hardik Pandya, Dunith Wellalage, Haris Rauf, Kuldeep Yadav, Mohammed Siraj  

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කල සේ ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ ව ද සියලු උණුසුම් පුවත් ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Wisden ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<