හෙල්ලත් සමග රියෝ යන සූමේද රණසිංහ

838

ක්‍රීඩකයෙකුට සිය ක්‍රීඩා ඉසව්වෙන් යන්න පුළුවන් උපරිම තැන, තමන් දවසක ලගා කරගන්නා අරමුණ නැත්නම් සිහිනය කුමක්ද කියා ඇසුවොත් ඔහු සැබෑම ක්‍රීඩකයෙකු නම්, නොවැරදීම ඔලිම්පික් යෑම සිය ක්‍රීඩා දිවියේ ඇති නොසන්සිදෙන සිහිනය/ උපරිම තැන යැයි පවසාවි.

සැබැවින්ම එය අහිංසක බලාපොරොත්තුවකට, සිහිනයකට එහා ගිය දැවැන්ත කැප කිරීම්, අඛණ්ඩ පුහුණුවීම්, නොපසුබට උත්සහායන් මතින් අරමුණු අත්නොහරිමින්, දෑස් විවර කරගෙන සිටිමින් සැබෑ කර ගතයුතු සිහිනයක් වෙයි.

නමුත් සිතන්න, නොසිතන මොහොතක සිය දස්කම්වල උපරිමය ජාතික වාර්තාවක් අභිබවා යමින් ඔලිම්පික් පරිසාධන මට්ටමටද ඉහලින් ගිය එකක් වුවහොත් ඔහුට හෝ ඇයට කුමන ආකාරයක හැගීමක් ඇතිවේද කියා. සැබැවින්ම පසුගිය දා නිමාව දුටු දකුණු ආසියානු පුහුණුවීම් තරගවලිදි හෙල්ල විසිකිරීමේ අංශයෙන් තරග වැදුනු ක්‍රීඩකයෙකු මීටර් 83.04ක දුරක් වාර්තා කරමින් නව ජාතික වාර්තාවක් සමග ඔලිම්පික් පරිසාධන මට්ටම කරා ලගාවිය. ඔහු ශ්‍රී ලංකාවෙන් ප්‍ර‍ථමවරට පිරිමි හෙල්ල විසිකිරීම අංශයෙන් ඔලිම්පික් පරිසාධන මට්ටමක් අභිබවා ගිය පුද්ගලයාද විය. ඔහු නමින් ආර්. එම්. සුමේද ජගත් රණසිංහයි.

කෑගල්ල තරම් ඈත එපිට නගරයකින් ක්‍රීඩාවේ අත්පොත් තබා සිය ජීවන ගමනේ මේසා හැටි දුරක් ගමන් කරන ඒ අභීත පෞර්ෂය ඔලිම්පික් යෑමට මත්තෙන් ThePapare.com මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහනක් වන “Road to Rio – ඔලිම්පික් යන අපේ තරු“ නම් වැඩසටහනට එක්වූයේ ඉතාමත් කාර්යබහුල ජීවන රටාවත් සමගිනි. සුපුරුදු ලෙන්ගතුකමිකින් පිළිසදරට එක්වු ඔහු සිය ඔලිම්පික් සතුට ගැන පවසා සිටියේ සැබැවින් ජාතික වාර්තාවක් ද සමගින් ශ්‍රී ලංකාවේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ඔලිම්පික් පරිසාධන මට්ටම ලබාගත් එකම ක්‍රීඩකයා වීමත්, 2016 ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම ගැනත් තමා මහත්සේ සතුටට පත්වන බවයි.

“මම හෙල්ල විසිකිරීම ක්‍රීඩාවට යොමුවන්නේ 2007 වර්ෂයේදි, ඒ මගේ ගමේ පාසල කොබ්බාව මහා විද්‍යාලයෙන්. මගේ ක්‍රීඩා භාර ගුරුතුමිය රූපා රත්නායක ගුරුතුමිය තමයි මාව හෙල්ල විසිකිරීම අංශයට යොමුකරලා එතනින් එහාට පුහුණුවීම් කටයුතු කරගෙන යන්න උදව් කලේ“ යැයි සිය අතීතය අවාර්ජනය කලේ සැබැවින්ම ඔහුගේ ක්‍රීඩා දිවියේ ඇරඹුම සහ හැරවුම් ලක්ෂය වු ඒ පාසල සහ ගුරුතුමිය ගැනද සදහනක් කරමිනි.

1991 වර්ෂයේ පෙබරවාරි මස 10 වැනිදා උපත ලැබු ඔහු, කෑගල්ල මහා විද්‍යාලයෙන් සහ කොබ්බාව කීර්තිරත්න මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා එයින් නොනැවති විශ්ව විද්‍යාල ප්‍රවේශයද ලබා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. මේවන විට ක්‍රීඩා කළමණාකර උපාධියක් හදාරණ ඔහු ලබන වර්ෂයේදි සිය අවසන් විභාහයන් සදහා පෙනි සිටිනු ඇත. ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් පටලවා ගන්නා වර්තමානයක ඔහු මේ තරම් දුරක් පැමිණි ආකාරය පිළිබද අප විමසුවෙමු.

“මම මුලින් දක්ෂ වුනේ ක්‍රීඩාවට නෙමෙයි අධ්‍යාපනයට. ඒකෙදි මගේ අම්මා, තාත්තා සහ පවුලේ අයගෙන් ලැබුනු සහයෝගය මේ වේලාවේ මතක් කරන්න ඕන. මම පොඩි කාලේ ඉදලා ක්‍රීඩාවට යොමුවුනා, ඒකෙදි අම්මයි තාත්තයි දෙන්නම මගේ පස්සෙන් හිටියා. ඉතිං මං හිතන්නේ ක්‍රීඩාවත් අධ්‍යාපනයක් දෙකම සමබරව කරනවා නම් තමයි අනාගතයක් තියෙන්නේ. මං තව අවුරුදු 5ක් 6ක් ක්‍රීඩා කරයි, නමුත් එතනින් එහාට මට ක්‍රීඩාව කරගෙන යන්න බැහැ. මොකද ශක්තියත් එක්ක මං හිතන්නේ නැහැ ඒ කාලෙත් මං ක්‍රීඩා කරයි කියලා. නමුත් අධ්‍යාපනය කියන එක ඉවරයක් වෙන්නේ නැහැ. මං ඒකයි තීරණය කලේ ඉගෙනීමත් එකක් ක්‍රීඩාවත් කරගෙන යනවා කියලා. එතකොට තමයි මං හිතන්නේ හොද අනාගතයක් තියෙන්නේ.“ යැයි ඔහු සිය අදහස් අපත් සමග පැවසීය.

2016 මාර්තු මාසයේ දියගම ක්‍රීඩාංගණයේදි පැවති දකුණු ආසියානු Trials වලදි සිය උපරීම දස්කම් වාර්තා කිරීමට ඔහු සමත් විය. එහිදි මෙතුවක් කල් තිබු ජාතික වාර්තාව මීටර් 7කින් අභිබවා යමින් මීටර් 83.04ක දුරක් වාර්තා කර ලෝක ශ්‍රේණිගත කිරීම් වල 29වැනි ස්ථානයට පාත්‍ර‍විය. ඒ පිලිබදව අදහස් දක්වමින් ඔහු ප්‍ර‍කාශ කර සිටියේ, “ඇත්තටම ජාතික වාර්තාව බිදින්න නම් අදහසක් තිබ්බා, මොකද මං පුහුණුවීම් අතරතුර හොද මට්ටමක සිටියා. නමුත් ඇත්තටම ඔලිම්පික් සදහා සුදුකම් ලබන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ මෙච්චර ඉක්මනට. මං බලාපොරොත්තු වුනේ ජාතික වාර්තාව මගේ අතට ගන්න තමයි. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වුනා, ඒ වෙලාවේ වාසනාවත් එක්ක මට ජාතික වාර්තාවත් සමගම ඔලිම්පික් කුසලතාවයත් ලබන්න වාසනාවන්ත වුනා“.

වාසනාව ගැන ඔහු ඒ මොහොතේ කතා කරත් සැබැවින් ඔහුගේ දස්කම් පමණක් ඔහුට මේ සදහා පාර කැපු බව මාගේ මතයයි, 2015 වර්ෂයේදි තායිලන්තයේ විවෘත ශුරතාවලියට සහභාගී වෙමින් එහි රන් පදක්කමත්, 2016 වර්ෂයේ SAF තරගවලින් රිදි පදක්කමත් ලබා ගනිමින් දස්කම් ප්‍ර‍දර්ශණය කල ඔහු 2015 වර්ෂයේ දකුණු කොරියාවේ සියෝල් හි පැවති ගිම්හාන විශ්ව විද්‍යාල තරගාවලියට සහභාගි වෙමින් අත්දැකීම් ලබා ගත් ක්‍රීඩකයෙකු ද වේ. ඒ ඔහුගේ පසුගිය වසරක දස්කම් පමණි.

ඔහු මේ වසරේ වාර්තා කල වාර්තාව සහ ගියවර ඔලිම්පික් රන් පදක්කම් වාර්තාව හා සසදන විට වෙනසකට ඇත්තේ මීටරයක් වැනි පරතරයකි. ඉතිං මෙවර අනෙක් රටවල් අභිබවා ඔහු ලංකාවට ආඩම්බරයක් එක්කරාවි යැයි බලාපොරොත්තු තබා ගත නොහැක්කේ කාහට? මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “ඒ අවස්තාවේ හැටියට ඒක කියන්න බැහැ. මෙවර රන් පදක්කමේ සීමාව මීටර් 85ක් ද 87 ක් ද කියලා, මගේ ලොකුම බලාපොරොත්තුව අගෝස්තු 17 වැනිදා පවත්වන ප්‍ර‍ථම වටයෙන් අවසන් වටයට තේරෙන්න. ඒකෙන් පස්සේ අවසන් වටයෙන් පදක්කමක් ගේන්න එක තමයි තියෙන එකම බලාපොරොත්තුව. ඉතිං මං ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා.“

සැබැවින්ම ගමෙන් නගරයට ඇවිත් රට වෙනුවෙන් මේසා ලොකු සිහිනයක් දකිනවා කියන්නේ සත්‍ය වශයෙන්ම ඔහු රටටත් ක්‍රීඩාවටත් ආදරය කරන ක්‍රීඩකයෙක්. එහිදි මේවන විට මලල ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ගැටළු සහ අර්බුද පිළිබදව ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩකයෙකු වශයෙන්, මලල ක්‍රීඩකයින් මුහුණ දෙන අපහසුතා, ක්‍රීඩාංගණ වල ඇති අසතුටුදායක තත්වයන් පිලිබදව චෝදනා කිහිපයක් ඔහු අප හමුවේ ඉදිරිපත් කලා.

ඇත්තටම මම ක්‍රීඩා කරන විටත් ක්‍රීඩාංගණයේ තත්වය එමමයි. කෙසේනමුත් ක්‍රිඩාංගණයේ ඒ තිබුනු තත්වයත් එකක් කෙසේ හෝ මම ජාතික වාර්තාවත් සමගින් ඔලිම්පික් කුසලතාවය ලබා ගත්තා. සමහර විට එය මගේ වාසනාව වන්න ඇති. නමුත් ඒ වාසනාව සෑම ක්‍රීඩකයෙකුටම පිහිටන්නේ නැහැ. විශේෂයෙන්ම කියනවා නම් සුගතදාස ක්‍රීඩාංගණය, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය අද වන විට ක්‍රීඩා කරන්න සුදුසු තත්වයක නැහැ. ඒ ගැන ඇත්තටම මම කනාගාටු වෙනවා. මේවට බලදාරීන් තමයි වගකියන්න ඕන. ක්‍රීඩාවේ අනාගතයක් දකින්න නම් අනිවාර්යෙන්ම ක්‍රීඩාංගණ අන්තර්ජාතික තත්වයට තියෙන්න ඕන. ඇත්තටම ලංකාවටම තියෙන්නේ සින්තටික් ට්‍රැක්ස් 2ක් තියෙන ක්‍රීඩාංගණ දෙකකයි තියෙන්නේ. ඒ ක්‍රීඩාංගණ දෙක ජාත්‍යන්තර මට්ටමක තිබ්බා නම් මං හිතනවා මේ අවුරුද්දේ මලල ක්‍රීඩාවෙන් තුන් දෙනෙක් නෙමෙයි ඊට වඩා වැඩි ගණනක් ඔලිම්පික් වලට සහභාගි වෙන්න තිබ්බා.“

සාකච්ඡාව අතරතුරත්, අවසනයේදිත් ඔහුට උදව් උපකාර කල සියළුම දෙනාට ස්තූතිය ප්‍ර‍කාශ කිරීමට ඔහු අමතක නොකලේය. එහිදි ඔහු සිය දෙමව්පියන් සහ පවුලේ උදවියටත්, සිය පාසලටත්, සිය පාසල් ගුරුතුමියටත් සහ ඔහු නියෝජනය කරන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගුවන් හමුදාපති තුමන්, ක්‍රීඩා අංශයේ ගැමුණු මුණසිංහ ඇතුළු කාර්යය මණ්ඩලයත්, විශ්ව විද්‍යාල උපකුලපති සම්පත් අමරගුරු මහතාත්, සුදන්ත ලියනගේ ගුරුපියාටත් සිය ස්තූතිය ප්‍ර‍කාශ කල අතර ඔහුට පන්නරය ලබා දෙමින් ජාතික සංචිතය දක්වා රැගෙන ගිය සිය ප්‍රථම ගුරුවරයා/ පුහුණුකරු වු ලලිත් ලියනගේ මහතා සහ විශ්ව විද්‍යාලයට පැමිණිමෙන් පසු සිය පුහුණුකරු වෙමින් ඔලිම්පික් දක්ෂතාව ඔහුව රැගෙන ආ ප්‍ර‍දීප් නිශාන්ත මහතාටත් සිය හදපිරි ස්තූතිය පුද කරන ලදි.

සැබැවින්ම ක්‍රීඩකයෙක්ගේ ජයග්‍ර‍ණය යනු රටක ජයග්‍ර‍ණයයි. නමුත් රට වෙනුවෙන් තරගයක් ජයග්‍ර‍ණය කරන්නා සැබැ විජයග්‍ර‍ණයකට හිමිකම් කියයි. ගමෙන් නගරයට පැමිණ සිය ආශාව ඇති ක්‍රීඩාව තුලින් කෙටි කාලයකද් මේතාක් දුරක් ආ ඔහුට සිය රටේ නාමය ලෝවක් හමුවේ ගෞරවාරදයට පාත්‍ර‍ කිරීමට ඇත්තේ තවත් දින කිහිපයකි. වටිනා කාලයෙන් මද වෙන්කර අප හා එක්වෙමින් අදහස් දැක්වු ඔබට ThePapare.com අපගේ උණුසුම් ස්තූතියත්, ඔලිම්පික් බලාපොරොත්තු සඵල කරගනිමින් නැවතත් ලංකාව කරා ඒමට හැකිවේවායිත් ප්‍රාර්ථනා කරමු!

ඔබට ජය……!