නදීෂා වසර 17ක පදක්කම් ඉඩෝරයට තිත තබයි

ආසියානු ක්‍රීඩා උළෙල 2023

381

වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරන නදීෂා දිල්හානි ලේකම්ගේ අද (03) සමත් වුනා.

සවස් වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා එම ඉසව්වේ මීටර් 61.57ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර අවසන් ප්‍රතිඵල අනුව ඇයට හිමි වුනේ දෙවැනි ස්ථානයයි.

මෙය ඇය හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා දිවියේ දැක්වූ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර ඇය විසින් මෙම වසරේ පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කිරීමට ද හැකියාව ලැබුණා.

මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමි වුනේ මීටර් 62.92ක දස්කමක් දැක්වීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩිකා Annu Rani හටයි.

අද දිනයේ දී මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබේරත්න සහ පිරිමි මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායම් තරග බිමට පිවිසියා.

මීටර් 800 මූලික වටයට සහභාගී වූ තරුෂි සිය ඉසව්ව මිනිත්තු 2:05.48ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබද්දී, ගයන්තිකා මිනිත්තු 2:07.17ක කාලයකින් තුන්වැන්නා ලෙස ඉසව්ව අවසන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

උදෑසන පැවති පිරිමි 4×400 සහය දිවීමේ තරගය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය මූලික තරගය මිනිත්තු 3:06.60ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

මෙම තරගය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන සහභාගී නොවූ අතර පබසර නිකූ, රජිත රාජකරුණා, දිනුක දේශාන් සහ පසිඳු කොඩිකාර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

තරගාවලියේ තීරණාත්මක දිනයක් වන හෙට (04) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබේරත්න, කාන්තා 4×400 සහය දිවීමේ කණ්ඩායම සහ පිරිමි 4×400 සහය දිවීමේ කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.

එම තරග තොරතුරු ඇතුළු තරගාවලියේ සමස්ත තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<