19න් පහළ බාලිකාවන්ගේ ක්‍රිකට් සිහිනය

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

515
U19 Women's T20 World Cup Review

ශ්‍රී ලංකා බාලිකාවෝ ද එක් වූ වයස අවුරුදු 19න් පහළ බාලිකා මංගල යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවතින්නේ අවසන් අදියරේ. එහි අවසන් තරගය මේ මස 29 වැනිදා දකුණු අප්‍රිකාවේ Potchefstroom හි දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඉන්දියාව සහ එංගලන්තය සුදුසුකම් ලබා තිබෙනවා.

අවසන් පූර්ව තරගවල දී ඉන්දියාව නවසීලන්තයට එරෙහිව කඩුලු 8කින් ජයග්‍රහණය කරන අතර එංගලන්තය ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3කින් ජයග්‍රහණය කරනවා.

මෙම මංගල තරගාවලිය සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 11ක් සමඟින් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ඔස්සේ කණ්ඩායම් 5ක් ද තෝරා ගැනුනා.

ඒ අනුව තරගාවලිය නියෝජනය කළේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, ඇමරිකාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, ස්කොට්ලන්තය, රුවන්ඩා, ඉන්දුනීසියා සහ ශ්‍රී ලංකාව යන රටවල් 16යි.

මේ අතරින් ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ඇමරිකාව සමඟින් තරග වැදුණා. පළමු වටයේ පැවති තරග 3න් එක් තරගයක් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ ඇමරිකාවට එරෙහිව ලැබූ ජයග්‍රහණය හේතුවෙන්.

තරගාවලියේ සුපිරි 12 දෙනාගේ කණ්ඩායම් නැවත කාණ්ඩ 2කට වෙන් කෙරෙන අතර එහි දී ශ්‍රී ලංකාව සහභාගී වන්නේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන්. ඒ අනුව එහි දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමඟයි.

එම තරග අතරින් ඉන්දියාවට එරෙහිව කඩුලු 7ක පරාජයකට මුහුණ දෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී තියුණු අවසානයකින් යුක්තව තරගය අවසන් කරන්නේ එක් ලකුණක් පිටුපසින් සිටිමින්. එතෙකින් ඔවුන්ගේ ලෝක කුසලාන ගමන් මඟ අවසන් වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියට පෙර පැවැති පුහුණු තරගවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ස්කොට්ලන්තය පරාජය කිරීමට සමත් වෙනවා. එහි දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 52ක ජයක් ද, ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් ද ඔවුන් සතු වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 90කට දැවී ගිය ද ප්‍රතිවාදීන් ලකුණු 38කට සීමා කිරීමට ඔවුන් සමත් වෙනවා.

එම තරගයේ දී ආරම්භක පිතිකාරිණිය වූ නෙත්මි සේනාරත්න පන්දු 55කට මුහුණ දෙමින් හරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනෙනවා.

අනතුරුව පැවති ස්කොට්ලන්තය සමඟ තරගයේ දී ප්‍රතිවාදීන් ලකුණු 87කට සීමා කිරීමට සමත් වෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් බිඳ වැටී තිබිය දී සපුරා ගනිමින් ලෝක කුසලාන තරගාවලියට ප්‍රවිශ්ඨ වෙනවා.

නමුත් ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්ෂතා අතර අතරමං වෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය අවසන් කරන්නේ එක් තරගයක ජයග්‍රහණයක් පමණක් හිමි කර ගනිමින්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන් මඟ
1 ඇමරිකාව ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.
2 බංග්ලාදේශය බංග්ලාදේශයට ලකුණු 10ක ජයක්.
3 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාවට ලකුණු 108ක ජයක්.
සුපිරි 6 වටයේ තරග
4 ඉන්දියාව ඉන්දියාවට කඩුලු 7ක ජයක්.
5 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට ලකුණක ජයක්.

තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වූ කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ 10 වැනි ස්ථානයයි. එම ස්ථානයට පසුපසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්ත ක්‍රීඩිකාවන් සිටිනවා.

කෙසේ වෙතත් තරගාවලියේ දක්ෂතාවන් දැක් වූ ක්‍රීඩිකාවන් අතර යම් තරමක ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම සමත් ව සිටිනවා. ඒ අතරින් සුපිරි 6 වටය අවසන් වන විට ලැයිස්තු ගත වූ තරගාවලියේ පිතිකාරිණියන් අතර 8 වැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා නායිකා විශ්මි ගුණරත්න සමත් වෙනවා.

ඇය තරග 5ක ඉනිම් 5කට සහභාගී වී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 134ක්. ඊට ඇය බංග්ලාදේශයට එරෙහිව පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 60ක් ද ඇතුළත්.

එම ලැයිස්තුවේ පළමු අසුන එංගලන්තයේ Grace Scrivens සතු වුනා. ඇය තරග 5ක දී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 269ක්. දෙවැනි ස්ථානය ඉන්දියාවේ Shweta Sehrawat සතු වෙන්නේ ලකුණු 231ක් ලබා ගැනීමත් සමඟින්. ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 115.50ක්. එහි තෙවැනි ස්ථානය හිමි වෙන්නේ ලකුණු 157ක් ලබා ගත් පාකිස්තානයේ Eyman Fatima වෙතයි.

ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානය විශ්මි වෙන් කර ගනිද්දී, එහි දෙවැනි ස්ථානය දෙව්මි විහංඟා සතුකර ගන්නවා. ඇය තරග 5ක ඉනිම් 5ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 113ක්. ඊට බංග්ලාදේශයට එරෙහිව පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 55ක් ද තිබෙනවා.

එහි තෙවැනි අසුන හිමිකර ගන්නේ මනුදි නානායක්කාර. ඇය තරග 5ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 66ක් වන අතර නෙත්මි සේනාරත්න ද තරග 5ක දී ලකුණු 52ක් ලබා ගන්නවා.

පන්දු යවන්නියන් අතරින් ශ්‍රී ලංකාවේ පෙරමුණ ගන්නේ දකුණතින් පිට දඟපන්දු යැවූ දෙව්මි විහංඟා. ඇය කඩුලු 9ක් ලබා ගන්නා ලද අතර ඇයගේ හොඳම පන්දු යැවීම ලෙසින් දැක්වෙන්නේ ඇමරිකාවට එරෙහිව ලකුණු 11කට දවා ගත් කඩුලු 3යි. ඊට අමතර ව ඇය ඉන්දීය කණ්ඩායමට එරෙහිව ද ලකුණු 34කට කඩුලු 3ක් දවා ගන්නවා.

කෙසේ වෙතත් ඇයගේ මෙම දක්ෂතාව මෙතෙක් ලෝක කුසලාන තරගාවලියේ පන්දු යවන්නියන් දැක් වූ දක්ෂතා අතර දෙවැනි සමස්ථානයේ තැබෙනවා. පන්දු යවන්නියන් අතරින් පළමු ස්ථානය පාකිස්තානයේ වමතින් දඟපන්දු යැවූ Anosha Nasir සතු වුනා. ඇය මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 10ක්.

ඊට පසුව ඕස්ට්‍රේලියාවේ Maggie Clark, ස්කොට්ලන්තයේ Katherine Fraser සහ ශ්‍රී ලංකාවේ දෙව්මි විහංඟා සම කඩුලු ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ අසුන් ගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙව්මිට අමතර ව පන්දු යැවීමේ දී කැපී පෙනෙන මෙහෙවරක නිරත වූයේ වමතින් දඟපන්දු යවන විදූශිකා පෙරේරා. ඇයට තරගාවලියේ හිමි වූ කඩුලු සංඛ්‍යාව 5ක්. ඉන් කඩුලු 3ක් ම ඇය දවා ගන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

ඊට අමතර ව දකුණතින් වේගපන්දු යවන රශ්මි නේත්‍රාංජලී කඩුලු 3ක් දවා ගනිමින් තෙවැනි අසුන වෙන් කර ගත්තා.

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: විශ්මි ගුණරත්න (නායිකාව – රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ) රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), දෙව්මි විහංගා (රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ), දහමි සනෙත්මා (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කොටහේන), උමායා රත්නායක (රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ), රශ්මිකා සෙව්වන්දි (අනුර විද්‍යාලය, මාතර), මනුදි නානායක්කාර (වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව), සුමුදු නිසංසලා (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), පමෝදා ශයිනි (අනුර විද්‍යාලය, මාතර), විදුශිකා පෙරේරා (රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ), දුලාංගා දිසානායක (අනුලා විද්‍යාලය, නුගේගොඩ), රශ්මි සංජනා (අනුර විද්‍යාලය, මාතර), නෙත්මි සේනාරත්න (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය), හරිනි පෙරේරා (වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව), විහාරා සෙව්වන්දි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම).

සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මේ දක්ෂතා පවතින්නේ ඉතා පහළ මට්ටමක බැව් අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එසේ නමුත් මෙරට වයස අවුරුදු 19න් පහළ තරග දක්ෂතා හා සාපේක්ෂව ගත් කල ඔවුන්ගෙන් ඊට වඩා මෙහෙවරක් මෙම තරගාවලියේ දී බලාපොරොත්තු විය නොහැකියි.

ශ්‍රී ලංකාවේ පාසල් බාලිකා ක්‍රිකට් පද්දතිය තුළ තවමත් ශක්තියක් අඩිතාලමක් මේ වෙනුවෙන් වැටි තිබෙන අයුරක් අපිට දකින්නට නැහැ. මෙතෙක් පවත්වන පාසල් තරගවල දී ද අප දකින්නේ එක ම කණ්ඩායම් කිහිපයක් සහ ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් මේ වටා රොක් වී සිටීම පමණයි. එහෙත් ක්‍රීඩාවේ දියුණුවක් බලාපොරොත්තු වන්නේ නම් එය පමණක් ප්‍රමාණවත් නොවන බැව් ලියුම්කරුගේ විශ්වාසයයි.

පසුගිය කාලය පුරා බාලිකා ක්‍රිකට් ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී අප දකින්නේ එහි දක්ෂතා වරින් වර එක් එක් කණ්ඩායම් කරා විතැන් වෙන අයුරුයි. කාලයක් රත්ගම දේවපතිරාජ ක්‍රීඩිකාවෝ පාසල් පිටියේ පෙළහර පෑ අතර ඊට පසුව එහි ආදිපත්‍ය ගම්පහ රත්නාවලියෝ හිමි කර ගත්තා.

මේ වෙද්දී කතා වෙන්නේ මාතර අනුර විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැනයි. ඔය අතර නුගේගොඩ අනුලා, කොළඹ ගෝතමී, මොරටුව වේල්ස් කුමරි සහ වාද්දුව මැදි විදුහල වැනි විද්‍යාල ද වරින් වර බාලිකා ක්‍රිකට් කරලියේ රඟ දෙන පාසල් බවට පත් වූ අයුරු මතකයි.

මේ ගැන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම් මෙවර ලෝක කුසලානයට සහභාගී වූ කණ්ඩායමේ පාසල් සංයුතිය ගත්ත ද හිතා ගත හැකියි.

කණ්ඩායමෙන් කණ්ඩායමට ජයග්‍රහණ බෙදී යෑමක් සිදු වන්නේ නම් එහි පැවැතිය යුත්තේ දක්ෂතාවයි. එසේ වේ නම් එය මෙරට බාලිකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ නැගී සිටීමක් බැව් අපට සිතිය හැකියි. නමුත් එය එසේ ම සිදු වේද?

පසුගිය කාලයේ දී ඇතැම් පාසල් ලකුණු 400 – 500 ඉක්මවන අවස්ථා ද තවත් පාසල් ලකුණු 30 – 40කට සීමා වූ අයුරු ද අප දුටුවා. එවන් දක්ෂතා අගය කළ යුතුයි. එහෙත් ඒ වාර්තා තැබෙන්නේ දුර්වලයන්ට ඇති සේ තැලීමෙන් නම් සහ දුර්වලයන් බිඳ හෙළීමෙන් නම්, එවන් වාර්තාවල වටිනාකමක් වේද?

අප විමසිය යුත්තේ, සොයා බැලිය යුත්තේ සහ පිළියම් යෙදිය යුත්තේ එවැනි දෑටයි. අතිශය දුර්වලයන් තරග බිමේ අසරණ කිරීමේ දී ඇතැම් විට සිදු වෙන්නේ ඔවුන් ඊළඟ වාරයේ දී ක්‍රීඩාවෙන් සමුගැනීමයි.

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව රැඳී තිබෙන්නේ ම එවැනි වාතාවරණයක් මතයි. ක්‍රීඩා සමාජ මට්ටමෙන් ගත් විට වූව ද එහි වැඩි ආකර්ශනයක් ලැබෙන්නේ ආරක්ෂක සේවා කණ්ඩායම් වෙතයි. ඒ ඔවුන් වෙත ඇති ක්‍රීඩිකාවන් නඩත්තු කිරීමේ හැකියාව මතයි.

අප ඉන් මිදී, වඩාත් දක්ෂයන් හඳුනා ගනිමින් කරළියට ගෙන එමේ ක්‍රමෝපායකට යා යුතුයි. සහභාගී වූ බාලිකා ලෝක කුසලාන තරගාවලියේ අපට යම් හෝ සැනසීමකට ලක් කරගත හැකි යමක් වේ නම් ඒ මෙම කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් සිටීම පමණයි.

ඔවුන් හෙට දවසේ ද බාලිකා ක්‍රිකට් පිටියේ රැඳී සිටින බැවින් ශ්‍රී ලංකාවට කදිම ආයෝජනයක් විය හැකියි. අප මෙන් ම ඔවුන් ද මේ සිහිනයේ වෙළි සිටිනු නියතයි. එබැවින් ඒ අනුව යමින් ඔවුන් හෙට දවසේ දී මෙරට බාලිකා පිටියේ මෙන් ම විදෙස් බාලිකා පිටියේ ද පෙරළි කරතැයි අපගේ බලාපොරොත්තුවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<