නදීෂා, කාලිංග සහ අරුණ අවසන් වටයට

19වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

540
19වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (29) තරග බිමට පිවිසියා.

මලල ක්‍රීඩා ඉසව්වෙන් තරගාවලිය ආරම්භ කරමින් ආසියානු මීටර් 400 ශූරී නදීෂා රාමනායක කාන්තා මීටර් 400 මූලික වටය සඳහා සහභාගී වූ අතර එම ඉසව්ව තත්පර 52.67ක කාලයකින් අවසන් කළ නදීෂා දෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

ඒ සමඟ ඇයට සිය ඉසව්වේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූ අතර ඇය සහභාගී වන අවසන් තරගය හෙට (30) පැවැත්වීමට නියමිතයි.

නදීෂාට පසුව පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන මූලික වටය සඳහා සහභාගී වූ අතර කාලිංග සිය ඉසව්ව තත්පර 45.57ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වුනා.

අරුණ සිය මූලික තරගය තත්පර 46.07ක කාලයකින් තෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර ඔහු සමස්ත ප්‍රතිඵල සටහනේ වේගවත්ම කාලයන් අතර 8 වැනි ස්ථානය ලබා ගෙන අවසන් වටයට සුදුසුකම් ලබා ගනිද්දී, දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් කාලිංග අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි මීටර් 400 අවසන් තරගය ද හෙට පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබීම කැපී පෙනෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අවසන් තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග ඇතුළු ආසියානු ක්‍රීඩා උළෙලේ සිය තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<