ගයන්තිකා ආසියාවේ සිව්වැනි තැනට

19වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

1287

චීනයේ පැවැත්වෙන 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න සහ රුමේෂිකා රත්නායක අද (01) තරග බිමට පිවිසියා.

උදෑසන පැවති කාන්තා මීටර් 200 මූලික වටයේ ඉසව් සඳහා සහභාගී වූ රුමේෂිකා තත්පර 24.51ක කාලයකින් සිය මූලික තරගය අවසන් කළේ තුන්වැන්නා ලෙසයි.

සිය මූලික තරගයේ පළමු ස්ථාන දෙක අතරට පැමිණීමට අපොහොසත් වීම සහ සියලු මූලික වට අවසානයේ වේගවත්ම කාලයන් 8 අතරට පැමිණීමට නොහැකි වීම නිසා ඇයට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

කාන්තා මීටර් 1500 අවසන් තරගය නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සවස තරග බිමට පිවිසි අතර ඇයගේ වර්තමාන දස්කම් අනුව පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකි වේ යැයි බොහෝ දෙනා අපේක්ෂා කළා.

එම අවසන් තරගයේ දී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ඇයට නොහැකි වූ අතර මිනිත්තු 4:18.77ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඇයට හිමි වුනේ සිව්වැනි ස්ථානයයි.

තරගයේ පළමු ස්ථානය මිනිත්තු 4:11.65ක කාලයකින් ඉසව්ව අවසන් කළ බහරේන් ක්‍රීඩිකා Winfred Yavi විසින් දිනා ගැනීමට සමත් වූ අතර මිනිත්තු 4:12.74ක කාලයකින් ඉසව්ව නිමා කළ ඉන්දීය ක්‍රීඩිකා Harmilan Bains රිදී පදක්කම ජයග්‍රහණය කළා.

මෙම ඉසව්ව සඳහා ගයන්තිකාගේ පෞද්ගලික හොඳම දස්කම මිනිත්තු 4:09.12ක් ලෙස දැක්වෙන අතර ඇය එම කාලයට ආසන්න කාලයක් හෝ වාර්තා කිරීමට හැකි වූවා නම් වසර 17කට පසු ආසියානු මලල ක්‍රීඩා පදක්කමක් දිනා ගැනීමට විශාල ඉඩක් පැවතුණා.

ඒ සමඟ අද දිනයේ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ ඉසව් අවසන් වූ අතර හෙට (02) දිනයේ දී කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් සාරංගි සිල්වා සහ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවන මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.

එම ඉසව් ඇතුළු 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පුවත් සියල්ල දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<