අවුරුදු 43 තරුණයා ඉතිහාසගත වෙයි!

Australian Open 2024

325

ඉන්දීය ටෙනිස් ක්‍රීඩක Rohan Bopanna විසින් සිය සගයා වූ Matthew Ebden සමඟ ඊයේ (27) දිනයේ දී ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි යුගල ටෙනිස් අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් ඉතිහාසගත වීමට සමත් වුනා. 

මේ වන විට 43 හැවිරිදි වියේ පසු වන Bopanna ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ විවෘත යුගයේ* ටෙනිස් Grand Slams ශූරතාවක් ජයග්‍රහණය කළ වයස්ගත ම පිරිමි ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වුනා. 

*. 1968 වසරෙන් පසු කාලය ටෙනිස් ක්‍රීඩාවේ විවෘත යුගය (Open Era) ලෙස හඳුන්වනවා. 

එමෙන්ම මෙය ඔහු විසින් Grand Slams ශූරතාවක් ජයග්‍රහණය කිරීමට දැරූ 61 වැනි උත්සාහය වූ අතර, Grand Slams ශූරතාවක් වෙනුවෙන් වැඩිම උත්සාහයන් ප්‍රමාණයක් දැරූ ක්‍රීඩකයාගේ වාර්තාව ද ඊයේ ජයග්‍රහණයෙන් පසුව Rohan සතු වුනා. (මීට පෙර එම වාර්තාව ඇමරිකානු ක්‍රීඩක Rajeev Ram සතු වූ අතර ඔහුට ශූරතාවක් වෙනුවෙන් අවස්ථා 58ක් උත්සාහ කිරීමට සිදු වුනා.) 

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය ලැබීමට පෙර සිටම Rohan Bopanna පිළිබඳ ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වීමට පටන් ගත්තේ, ඔහු ලොව අංක එකේ පිරිමි යුගල ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමත් සමඟයි. 

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ ස්ථානයට පැමිණි වයස්ගත ම ක්‍රීඩකයාගේ වාර්තාව ද එහි දී Rohan සතු වුනා. 

2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට පෙර Rohan ලෝක ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයේ රැඳී සිටි අතර, ගිය වසර අග භාගයේ දී ඔහු සහ සිය යුගල තරග සගයා වූ ඕස්ට්‍රේලියාවේ Matthew Ebden විසින් 2023 ප්‍රංශ විවෘත ටෙනිස් අවසන් තරගයට ද සුදුසුකම් ලබා ගත්තා. කෙසේ වෙතත් එවර ඔවුන්ට ජයග්‍රහණයක් ලැබීමට හැකියාව ලැබුණේ නැහැ. 

“සැකයකින් තොරව මේ තමයි මගේ ජීවිතයේ හොඳම මොහොත. මට ඉවත් වෙන්න සහ නතර කරන්න හිතිලයි තිබුණේ.” 

මීට වසර හතරකට පමණ පෙර Rohan සිය ක්‍රීඩා ජීවිතයට සමු දීමට පවා තීරණය කර තිබූ අතර, පසුව ඔහු යෝග ව්‍යායාමවලට නැඹුරු වීමත් සමඟ නැවතත් පෙරටත් වඩා හොඳින් ක්‍රීඩාවට අවතීර්ණ වීමට සමත් වුනා. 

දැන් තමන්ට ක්‍රීඩාවට සමු දීමේ බලාපොරොත්තුවක සේයාවක් හෝ නොමැති බවයි Rohan සඳහන් කරන්නේ. 

මම මගේ ජීවිතයේ හොඳම ටෙනිස් ක්‍රීඩා කරනවා. මම මගේ හොඳම ටෙනිස් ක්‍රීඩා කරමින් එය රස විඳිමින් සිටින තාක්, මට ඇත්තටම මේ මොහොතේ නතර කිරීමට කිසිම හේතුවක් පෙනෙන්නේ නැහැ.” 

මෙය Rohan විසින් Grand Slams ශූරතාවක් ජයග්‍රහණය කළ දෙවන අවස්ථාව වූ අතර මීට පෙර ඔහු විසින් 2017 ප්‍රංශ විවෘත මිශ්‍ර යුගල ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

එමෙන්ම ඔහුගේ ශූරතා සගයා වූ Matthew Ebden විසින් ජයග්‍රහණය කළ තෙවන Grand Slams ශූරතාව මෙය වූ අතර මීට පෙර ඔහු විසින් 2013 ඕස්ට්‍රේලියානු විවෘත මිශ්‍ර යුගල ශූරතාව සහ 2022 විම්බල්ඩන් පිරිමි යුගල ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

Ebden යනු Rohanගේ ටෙනිස් දිවියේ 19 වැනි හවුල්කරු වීමත් විශේෂත්වයක්. 

“මොහුට වයස කියන්නේ ඉලක්කමක් වත් නෙවෙයි. ඔහු හදවතින් තරුණයි, ඔහු ශූරයෙක්, ඔහු රණශූරයෙක්. පසුගිය වසර පුරාවටම ඔහු මගේ අනෙක් පසින් සිටිමින් දැඩි ලෙස සටන් කළා.” 

Ebden විසින් ඊයේ තරගයෙන් අනතුරුව එසේ සඳහන් කර තිබුණා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

CNN සහ BBC ඇසුරිනි. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<