වැරදි ධාවනයෙන්, 17 වසරකට පසු හිමි වූ පදක්කම අහිමියි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

4261
19වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි සිල්වා සහ මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම ඊයේ (02) තරග බිමට පිවිසියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම පදක්කම් බලාපොරොත්තුවක් වූ මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම සිය ඉසව්ව මිනිත්තු 3:14.25ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වුනේ වසර 17කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පදක්කමක් දිනා ගනිමිනුයි.

නමුත් එම සතුට කෙටි වේලාවකට සීමා කරමින් තරගය තුළ ධාවන මංතීරුවට අදාළ නීතිය වන 17.3.1 උල්ලංඝනය කිරීම නිසා කණ්ඩායම තරගයෙන් ඉවත් කිරීමට සංවිධායකයින් කටයුතු කළා.

එම නිසා තරගයේ ලෝකඩ පදක්කම දිනා ගත් ඉන්දීය කණ්ඩායමට රිදී පදක්කම හිමි වූ අතර සිව්වැනි ස්ථානය දිනා ගත් කසකස්තාන කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි වුනා. තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ප්‍රබල බහරේන් කණ්ඩායමයි.

කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් විසින් ආසියානු ක්‍රීඩා සංගමයට අභියාචනාවක් ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වෙනවා.

අද දිනයේ සහය දිවීමේ ඉසව්වට අමතරව කාන්තා දුර පැනීම ඉසව්ව සඳහා සහභාගී වූ සාරංගි සිල්වා මීටර් 6.14ක දස්කමක් ප්‍රදර්ශනය කරමින් සිය ඉසව්ව අවසන් කළේ හයවැන්නා ලෙසයි.

සාරංගි මෙම තරගයේ දී සිය හොඳම දක්ෂතාවයට ළඟා වීමට අපොහොසත් වූ අතර ඇය එම දස්කම්වලට ආසන්න දස්කමක් දැක්වූවා නම් පදක්කමක් ලබා ගැනීමට වැඩි ඉඩකඩක් තිබුණා.

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ඉදිරි දිනයේ තරග ඉසව් කිහිපයකට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිත අතර එම ඉසව්වන් හී සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<