නදීෂා, අරුණ සහ කාලිංගගෙන් සටන්කාමී ධාවනයක්

ආසියානු ක්‍රීඩා උළෙල 2023

2573
ආසියානු ක්‍රීඩා උළෙල 2023

චීනයේ පැවැත්වෙන 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි මීටර් 400 අවසන් මහා තරග නියෝජනය කරමින් කාලිංග කුමාරගේ, අරුණ දර්ශන සහ නදීෂා රාමනායක අද (30) තරග බිමට පිවිසියා.

තරග ආරම්භ කරමින් සවස්වරුවේ පැවති කාන්තා මීටර් 400 අවසන් තරගයට සහභාගී නදීෂා රාමනායක සිය තරගය සටන්කාමී ධාවනයකින් පසුව තත්පර 53.72ක කාලයකින් පස්වැන්නා ලෙස අවසන් කළා.

තරගයේ පළමු ස්ථානය තත්පර 50.66ක කාලයකින් ඉසව්ව අවසන් කළ බහරේන් ක්‍රීඩිකා Oluwakemi Mujidat ජයග්‍රහණය කිරීමට සමත් වෙද්දී, හිටපු ලෝක ශූරියක වන Salwa Eid Naser හට දෙවැනි ස්ථානය හිමි වුනා.

එම තරගයෙන් පසුව පැවති පිරිමි මීටර් 400 අවසන් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන සහභාගී වුනා.

තත්පර 46.09ක කාලයකින් එම ඉසව්ව අවසන් කළ අරුණ දර්ශන එහි හයවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර තත්පර 46.22ක කාලයකින් ඉසව්ව අවසන් කළ කාලිංග හට හිමි වුනේ හත්වැනි ස්ථානයයි.

පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 45.55ක කාලයකින් අවසන් කළ සෞදි ක්‍රීඩක Yousef Ahmed ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ජපන් ක්‍රීඩක Kentaro Sato දෙවැනි ස්ථානය දිනා ගත්තේ තත්පර 45.57ක කාලයකින් ඉසව්ව අවසන් කරලයි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දිනයේ සහභාගී වූ මලල ක්‍රීඩා ඉසව් අවසන් වූ අතර හෙට (01) දිනයේ දී මීටර් 200 මූලික වටය සඳහා රුමේෂිකා රත්නායක සහ මීටර් 1500 අවසන් තරගය සඳහා ගයන්තිකා අබේරත්න සහභාගී වීමට නියමිතයි.

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු මලල ක්‍රීඩා පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<