සංජනා සහ ලිමංසා එක් ව පාකිස්තානය නැවතත් පරාජය කරයි

Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

3
Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

නැවත වතාවක් සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් සහ ලිමංසා තිලකරත්න ගේ තුන් ඉරියව් දක්ෂතාත් සමඟින් ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණයක් වාර්තා කරනවා.

ඔවුන් මෙම දක්ෂතා දක්වන්නේ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ නිමා වූ 8 වැනි තරගයේදීයි.

>>සංජනා පාකිස්තානයටත් සැරට තලයි

Faisalabad හී Iqbal ක්‍රීඩාංගණයේ දී අද (12දා) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 39ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක් වෙන්නේ පෙර තරගය හා එක් වූ දනෝද්‍යා සෙව්මිණි වෙනුවට යෙශලි ජිතාරා එක් කර ගනිමිනුයි. පාකිස්තාන කණ්ඩායම මෙම තරගය හා එක් වෙන්නේ පෙර ශ්‍රී ලංකාව හා තරගයට එක් වූ කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් වූ  Areesha Ansari, Qamrosh Farhan, Memoona Khalid සහ Barira Saif වෙනුවට Aqsa Habib, Afsheen Khan, Mah Noor සහ Alzoha Hammad එක් කර ගනිමින්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

 

චමුදි ප්‍රබෝදා (නායිකාව), සංජනා කාවින්දි (කඩුලු රකින්නිය), විමෝක්ෂා බාලසූරිය, නෙත්මි උපේක්ෂා, ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, උමයංගනා පීරිස්, අසේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා, දනෝද්‍යා සෙව්මිණි සහ චමෝදි හේරත්.

 

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

 

Fizza Fiaz (නායිකාව), Komal Khan, Ravail Farhan, Zoofishan Ayyaz (කඩුලු රකින්නිය), Aqsa Habib, Alzoha Hammad, Shahar Bano, Afsheen Khan, Mah Noor, Rozina Akram සහ Mahnoor Zeb.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Shahar Bano. ඇය පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

ඊට අමතර ව Aqsa Habib පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ද, ආරම්භක පිතිකාරිනියන් වූ Ravail Farhan පන්දු 15ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද සහ Komal Khan පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ද ලබා ගත්තා.

පාකිස්තාන ඉනිමේ පිටියට පිවිසි අනෙක් සෑම ක්‍රීඩිකාවකගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වුණා. එහි දී කඩුලු දවා ගැනීමේ දී ලිමංසා තිලකරත්න ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව යෙශලි ජිතාරා ලකුණු 20කට කඩුලු 2ක් ද, නෙත්මි උපේක්ෂා සහ චමුදි ප්‍රබෝදා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය එක් ව ආරම්භ කරන ලද අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 24ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විමෝක්ෂා බාලසූරිය ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා.

සංජනා කාවින්දි ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා. ඇය දැවී ගිය එම කඩුල්ල වෙනුවෙන් ලිමංසා තිලකරත්න හා එක් ව පන්දු 25ක දී ලකුණු 41ක සබඳතාවක් ද ගොඩ නගනවා.

ලිමංසා තිලකරත්න තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 22කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

ඊට අමතර ව නෙත්මි උපෙක්ෂා පන්දු 9ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 16ක් ද ශෂිනි ගිම්හාන් පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 9ක් ද සහ ඉනිම අවසන් වෙද්දී උමයංගනා පීරිස් පන්දුවකට පමණක් මුහුණ දී නොදැවී ලකුණක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Mah Noor සහ Rozina Akram කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම– කඩුලු 8ක් දැවී 105 (20.0) Aqsa Habib20, Shahar Bano නොදැවී 24, යෙශලි ජිතාරා 2/20, ලිමංසා තිලකරත්න 3/14
  • ශ්‍රී ලංකාවයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම– කඩුලු 4ක් දැවී 106 (13.3) සංජනා කාවින්දි 46, නෙත්මි උපේක්ෂා 16, ලිමංසා තිලකරත්න නොදැවී 16

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – ලිමංසා තිලකරත්න (ශ්‍රී ලංකාව)

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන 6 වැනි සහ අවසන් තරගය බංග්ලාදේශය සමඟින් ඔක්තෝබර් 14 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<