සුසල් ගෞරවය රැක ගනිද්දී, මැතිව්ගෙන් ජාතික වාර්තාවක්

Asian Games 2023

2997

19 වැනි අසියානු ක්‍රීඩා උළෙලේ 05 වැනි දිනය වූ ඊයේ (27) සහ 06 වැනි දිනය වන අද (28) දිනයේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම තරග බිමට පිවිසුණා.

සුසල් තේජ්වාන්ට 15 වැනි ස්ථානය

දින කිහිපයක් පුරාවට පැවැත්වුණු පිරිමි චෙස් ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සුසල් තේජ්වාන් ඊයේ දිනයේ දී සිය තරගය නිමා කළේ 15 වැනි ස්ථානය දිනා ගනිමිනුයි.

තරග වට 9ක් ක්‍රීඩා කළ සුසල් විසින් ලකුණු 5ක් ලබා ගැනීමට සමත් වූ අතර චෙස් Grand Master* තත්වයේ සිටින ක්‍රීඩකයින් 15 දෙනෙකු තරග වැදුණු මෙම ඉසව්වේ සමස්ත ක්‍රීඩකයින් 34 දෙනෙකු අතුරින් සුසල් විසින් ලබාගත් ස්ථානය පිළිබඳ සැබැවින් ම සතුටට පත් විය හැකියි.

*. සුසල් මේ වන විට International Master තත්වයේ පසු වන අතර, Grand Master යනු International Master මට්ටමට ඉහළින් ඇති මට්ටමයි.

මේ අතර ඊයේ දිනයේ දී කාන්තා පසුපස ආර මීටර් 100 ඉසව්වේ මූලික වටයකට සහභාගී වූ ගංගා රත්නායක හට එහි දී හිමි වුනේ හය වැනි ස්ථානයයි. එමෙන්ම අද උදෑසන ද අකලංක පීරිස් සහ මැතිව් අබේසිංහ පිරිමි සමනල ආර මීටර් 50 ඉසව්වේ මූලික වට සඳහා සහභාගී වුනත් ඔවුන්ට ඒවායෙන් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් මෙහි දී මැතිව් අබේසිංහ විසින් පිරිමි සමනල ආර මීටර් 50 ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වුනේ තත්පර 24.58කින් සිය ඉසව්ව නිම කරමිනුයි.

මේ අතර පසුගිය අඟහරුවාදා (26) සහ අද දින දෙකේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු බොක්සිං වලල්ලට පිවිසුනත් ඔවුන්ට ද ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එමෙන්ම ESport ඉසව්ව නියෝජනය කරමින් ද ශ්‍රී ලංකා කණ්ඩායමක් අද දිනයේ දී තරග බිමට පිවිසුණා. එහි දී Pace Elite Asian games Version පළමු වටයේ B කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එහි දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. ඔවුන් එම ඉසව්වේ දෙවන වටයේ C කාණ්ඩය නියෝජනය කරමින් අද සවස 4.30ට තවත් තරගයකට සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චීනයේ Hangzhou බලා ගිය ගෝල්ෆ් ක්‍රීඩකයින් ද අද දිනයේ තරග බිමට පිවිසුණා. මේ වන විටත් ඔවුන් පිරිමි ඒකල සහ පිරිමි කණ්ඩායම් මූලික වට සඳහා ක්‍රීඩා කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව තවමත් මෙවර ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ එක් රිදී පදක්කමක් පමණයි. එමෙන්ම මේ වන විට පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 25 වැනි ස්ථානයේයි. කිසිඳු අභියෝගයකින් තොරවම සත්කාරක චීනය රන් පදක්කම් 84ක් සමඟින් පදක්කම් සටහනේ පෙරමුණේ රැඳී සිටින අතර දකුණු කොරියාව පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ රන් පදක්කම් 20ක් ද සමඟිනුයි.

හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලාපොරොත්තු

කෙසේ වෙතත් මෙවර ක්‍රීඩා උළෙලේ වැඩි පදක්කම් ප්‍රමාණයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා සිටින මලල ක්‍රීඩා ඉසව් හෙට (29) දිනයෙන් ආරම්භ වීමට නියමිතයි

ඒ අනුව මලල ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් හෙට උදෑසන පිරිමි සහ කාන්තා 20Km ඇවිදීමේ තරග පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලාපොරොත්තු තරග බිමට පිවිසීමට නියමිත වන්නේ හෙට සවස් භාගයේ දීයි. හෙට පස්වරු 4.38ට කාන්තා මීටර් 400 දෙවැනි තරග වටය නියෝජනය කරමින් නදීශා රාමනායක තරග වැදීමට නියමිත අතර, පිරිමි මීටර් 400 ඉසව්වේ පළමු සහ තෙවන තරග වට වල දී පිළිවලින් පස්වරු 4.55 ට සහ 5.11ට කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන තරග වැදීමට නියමිතයි.

එම තරග විස්තර ද සමඟින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<