ඔලිම්පික් ගම්මානයේ පළමු ආසාදිතයා විදේශයෙන් ආ සංවිධායකයෙක්

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

216
Olympic Village

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වෙන්වූ ඔලිම්පික් ගම්මානයෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බව විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව තහවුරු කරමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සංවිධායක Toshiro Muto ප්‍රකාශ කර තිබුණේ, ජපන් ජාතිකයෙකු නොවන විදේශයේ සිට පැමිණි සංවිධායකයෙකු හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

එම පුද්ගලයා මේ වන විට ඔලිම්පික් ගම්මානයෙන් පිටතට ගෙන ගොස් නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහු ජපානයට පැමිණීමට පෙර සිදු කළ කොරෝනා පරික්ෂාවලින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව ඔලිම්පික් උළෙල ආශ්‍රිතව හමු වූ කොරෝනා ආසාදිතයන් ගණන 45ක් දක්වා ඉහළ යන අතර මීට පෙර ඔලිම්පික් උළෙලේ ඉදිකිරීම් ආශ්‍රිතව සේවය කළ සේවකයන්, නිලධාරීන් සහ ජපානය වෙත පැමිණි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරුව තිබුණා.

කෙසේ නමුත් ඔවුන් කිසිවෙකු ඔලිම්පික් ගම්මානය හා සම්බන්ධ නොවූවන් වන අතර ඔලිම්පික් ගම්මානය තුළින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිත සිදුවීම මෙයයි.

ඔලිම්පික් උළෙල ආරම්භ වීමට ඇති දින 6ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙවැනි සිදුවීමක් වාර්තා වීම ඔලිම්පික් සංවිධායකයින් හට අමතර පීඩනයක් ගෙන දීමක් වන නමුත් මෙලෙස ආසාදනයට ලක්වූ පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ.

ජපානයේ ටෝකියෝ නුවරින් කොරෝනා වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීම නිසා ටෝකියෝව තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජපාන බලධාරීන් තීරණය කළා.

එම නිසාවෙන් මෙවර ඔලිම්පික් උළෙල සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂකයන්ගෙන් හුදකලා කර පැවැත්වීමට ජපාන ඔලිම්පික් සංවිධායකයින් තීරණය කළේ ජපාන පුරවැසියන්ට ද ඔලිම්පික් දොරගුළු වසා දමමින්.

මීට අමතරව, ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්වය යටතේ පැවැත්වීම පිළිබඳව ජපන් ජනතාව විරෝධය පල කර තිබූ අතර එය අවලංගු කරන ලෙස ජපාන වෛද්‍යවරුන් ඉල්ලීම් කර තිබුණා.

නමුත් එම සියලු අභියෝග යටතේ පසුගිය වසරේ සිට මෙම වසර දක්වා කල් තැබූ ඔලිම්පික් උළෙල සැලසුම් පරිදි පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර ඔලිම්පික් උළෙල ලබන සිකුරාදා (23) ආරම්භ වීමට නියමිතයි.

CNN ඇසුරෙනි

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<