අයි.පී.එල් තරගාවලියේ අඩුම ලකුණු බැංගලෝර් කණ්ඩායම වාර්තා කරයි!

533

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (23) පැවති තරග දෙකෙන් ජය හිමිකර ගැනීමට ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. එහිදී විරාත් කෝලි, ඩිවිලියර්ස් සහ ක්‍රිස් ගේල් වැනි ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 49කට දැවී යාම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

පූනේ පිළට ජය ගෙනෙමින් දෝනි තරගයක් කණපිට පෙරලයි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (22) ක්‍රියාත්මක වූ තරග දෙකම වචනයේ පරිසමාප්ත අරුතින්ම විශිෂ්ට තරග දෙකක් බවට පත්විය…

කිංග්ස් XI පන්ජාබ් සහ ගුජරාට් ලයන්ස් අතර තරගය

රාජ්කොට් හිදී පැවති මෙම තරගයෙන් ලකුණු 26ක ජයක් හිමි කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ගුජරාට් නායක සුරේෂ් රයිනාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පන්ජාබ් ක්‍රීඩකයින් තම පන්දුවාර 20 තුල දී කඩුලු 7ක් දැවී ලකුණු 188ක් රැස්කර ගැනීමට සමත් විය. කලින් තරගයේ දී ශතකයක් රැස් කළ අම්ලා ඊයේ තරගයේ දී ද සාර්ථක පිතිකරණයක යෙදෙමින් ලකුණු 65ක් රැස් කළේය. පන්දු 40ක් වැය වුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

මැදපෙළ ශක්තිමත් කළ ශෝන් මාර්ශ් පන්දු 24කින් ලකුණු 30ක් රැස් කළ අතර නායක ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18ක දී එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය. ඉනිමේ අවසන් භාගයේ දී පිටිය දෙවනත් කළ අක්සා පටෙල් පන්දු 17ක දී වේගවත් ලකුණු 34ක් වාර්තා කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර දෙකකින් හැඩවිණි. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි ලකුණු 35කට කඩුලු 2ක් බිඳ හෙලීය.

ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ගුජරාට් පිළට පන්දු වාර 20ක් තුල දී කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණි. කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් නොදැවී ලකුණු 58ක් රැස් කළ ද අනෙක් පිතිකරුවන්ගේ සහය අවම වීම හේතුවෙන් ලකුණු 26ක පරාජයක් අත්විඳින්නට ගුජරාට් ලයන්ස් පිළට සිදුවිය.

නායක සුරේෂ් රයිනා ලකුණු 32ක් සහ ඇන්ඩෘ ටයි ලකුණු 22ක් රැස් කරමින් ගුජරාට් ඉනිම යම් පමණකින් ඉහළ නැංවීමට ආධාර විය. ප්‍රවේගකාරී පිතිකරු ඒරෝන් ෆින්ච් ඊයේ රැස් කළේ ලකුණු 13ක් පමණි. පන්දු යැවීමේ දී කරියප්පා, අක්සා පටෙල් සහ සන්දීප් ශර්මා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු හෂිම් අම්ලාට හිමිවිය.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 7ක් දැවී ලකුණු 188 (පන්දුවාර 20): හෂීම් අම්ලා 65, අක්සා පටෙල් 34, ග්ලේන් මැක්ස්වෙල් 31, ශෝන් මාර්ශ් 30, ව්‍රිදිමන් සහා 10, ඇන්ඩෘ ටයි 2/35, නතූ සිං 1/7, ඩ්වේන් ස්මිත් 1/18.

ගුජරාට් ලයන්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 162 (පන්දුවාර 20): දිනේෂ් කාර්තික් 58*, සුරේෂ් රයිනා 32, ඇන්ඩෘ ටයි 22, ඒරෝන් ෆින්ච් 13, බැසිල් තම්පි 11*, කොන්ගන්දා කරියප්පා 2/24, අක්සා පටෙල් 2/36, සන්දීප් ශර්මා 2/40.


කල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය

කල්කටා හි සුප්‍රසිද්ධ ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 82ක දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ විශේෂත්වය බවට පත්වූයේ කල්කටා ඉනිම හඹාගිය රෝයල් චැලෙන්ජර්ස් පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 49කට සීමා වීමයි.

කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක විරාත් කෝලි මුලින් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී කල්කටා ක්‍රීඩකයින්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි කල්කටා පිතිකරුවන් පන්දු වාර 19යි පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 131ක් රැස් කළහ. වර්තමානය වන විට පිතිකරණයේ ඉහළ දියුණුවක් ලබා ඇති සුනිල් නරෙයින් ඊයේ දිනයේ දී ද කල්කටා ඉනිම ආරම්භ කරමින් ලකුණු 34ක් රැස් කළේය. හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනු ඔහුගේ ඉනිමට වැයවුනේ පන්දු 17ක් පමණි.

මීට අමතරව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ලකුණු 18ක් රැස් කිරීමට සමත් විය. ඉන්දියානු නවක පිතිකරුවන් දෙදෙනෙකු වන මනිෂ් පාණ්ඩේ සහ සූර්‍යකුමාර් යාදෙව්ගේ පිත්තෙන් ඊයේ ලකුණු 15 බැගින් කල්කටා ඉනිමට එක්විය. පන්දු යැවීමේ දී පා දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චහල් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත විය. මෙවර අයි.පී.එල්. තරගාවලියේ විශාල මුදලකට අලෙවි වූ පවන් නෙගීට ලකුණු 15ට කඩුලු 2ක් දවා ගැනීමට හැකිවිය.

සාමාන්‍යයෙන් විස්සයි විස්ස තරගයක දී අඩු ලකුණු සංඛ්‍යාවක් වන ලකුණු 132ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි බැංගලෝර් ක්‍රීඩකයින් ලකුණු 49ක් තුල දවා ගැනීමට කල්කටා පන්දු යැවීමේ බල ඇණිය සමත් විය. මෙය අයි.පී.එල් තරගාවලියේ වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත බැංගලෝර් පිළ අන්ත අසරණ කර දැමූ ග්‍රැන්ඩ්හොම්, ක්‍රිස් වෝක්ස් සහ කෝල්ටර්නයිල් ඊයේ කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

කිසිදු බැංගලෝර් පිතිකරුවෙකුට ඊයේ ඉලක්කම් දෙකේ ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වීම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. ඒ අනුව ලකුණු 82ක සුපිරි ජයක් හිමිකර ගත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය සුරක්ෂිත කර ගැනීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය බැංගලෝර් පිතිපෙළ බිඳ දැමීමට මූලිකත්වය ගත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක නේදන් කෝල්ටර්නයිල්ට හිමිවිය.

කල්කටා නයිට් රයිඩර්ස් – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දු වාර 19.3): සුනිල් නරෙයින් 34, ක්‍රිස් වෝක්ස් 18, මනිෂ් පාණ්ඩේ 15, සූර්‍යකුමාර් යාදෙව් 15, ගෞතම් ගම්බීර් 14, රොබින් උතප්පා 11, යුශ්වේන්ද්‍ර චහල් 3/16, පවන් නෙගී 2/15, ටයිමල් මිල්ස් 2/31, ස්ටුවර්ට් බිනී 1/9.

රෝයල් චැලෙන්ජර්ස් – සියල්ලන්ම දැවී ලකුණු 49 (පන්දු වාර 9.4): කෙඩාර් ජාදෙව් 9, ඒ.බී. ඩිවිලියර්ස් 8, ස්ටුවර්ට් බිනී 8, ක්‍රිස් ගේල් 7, කොලින් ඩි ග්‍රෑන්ඩ්හොම් 3/4, ක්‍රිස් වෝක්ස් 3/6, නේදන් කෝල්ටර්නයිල් 3/21.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට