ලෝකයට අභියෝග කළ ආසියානුවන් ගැටෙන ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ!

Asian Games 2023

1210

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදහස් ගණනක් ක්‍රීඩා ඉසව් 481ක් වෙනුවෙන් තරග වැදීමට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල අද (23) ආරම්භ වීමට නියමිතයි.

2022 වර්ෂයේ දී චීනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ක්‍රීඩා උළෙල පසුව 2023 වර්ෂය තෙක් කල් දැමුණු අතර (කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව) ඒ අනුව අද පටන් ඔක්තෝබර් 08 වැනිදා දක්වා චීනයේ Hangzhou හිදි මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩා 8ක මූලික වටයේ තරග පසුගිය 19 වැනිදා සිට ආරම්භ වූ නමුත් එය නිල වශයෙන් (සමාරම්භක උත්සවයක් ද සමඟින්) අද රාත්‍රි 7.30ට ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

එමෙන්ම මෙම තරගාවලිය ක්‍රීඩා ඉසව් 9ක් වෙනුවෙන් එළඹෙන 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ද සැලකෙනවා.

මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 483ක් වෙනුවෙන් තරග කිරීමට නියමිත රටවල් 45ක ක්‍රීඩක/ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවෙන් එක් වන තරගකරුවන් ප්‍රමාණය 96ක් (ක්‍රීඩකයින් 62ක් සහ ක්‍රීඩිකාවන් 34ක්) ලෙසයි සටහන් වී තිබෙන්නේ.

මෙහි දී ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි වෙත පනවා ඇති තහනම නිසා ඔවුන් පමණක් ආසියානු ඔලිම්පික් කමිටු (OCA) ධජය යටතේ තරග වැදීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු රැසක් මලල ක්‍රීඩා ඉසව් සමඟ සහ ඊට අමතරව මල්ලව පොර සහ බර ඉසිලීම ඉසව් මත රැඳී පවතිනවා.

මලල ක්‍රීඩා ඉසව් සැලකීමේ දී නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න, නදීශා රාමනායක, නදීශා ලේකම්ගේ සහ ගයන්තිකා අබේරත්න මෙන්ම පිරිමි සහ කාන්තා මීටර් 400×4, මිශ්‍ර මීටර් 400×4 ඉසව්ව පිළිබඳ ව ද ඉහළ බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ ලෝක මට්ටමේ මලල ක්‍රීඩා බලාපොරොත්තුව වන යුපුන් අබේකෝන් හට මෙවර තරග වාරය ම ආබාධයක් නිසා අහිමි ව ගියා. මේ නිසා ඔහුට මෙවර ආසියානු පදක්කමක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව අහිමි වුනත් එය ලබන වසරේ ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදු කරන විශාලතම ආයෝජනය වනු ඇති.

මීට අමතර ව පසුගිය වසරේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ දී කාන්තා මල්ලව පොර ඉසව්වෙන් පදක්කම් ජයග්‍රහණය කළ නෙත්මි අහිංසා පිළිබඳ ව මෙන්ම එම ක්‍රීඩා උලෙළේ බර ඉසිලීමෙන්  පදක්කම් දිනා ගත් ඩිලංක ඉසුරු කුමාර ද මෙවර පදක්කම් වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ලෙස අනුමාන කළ හැකි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව ලෙස කාන්තා සහ පිරිමි ක්‍රිකට් ඉසව් ද්විත්වය හඳුන්වා දිය හැකි. මේ අතරින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් ඉදිරියට යාමට සමත් වෙමින් පදක්කමක් පෙනෙන තෙක් මානයට ම සමීප වී සිටිනවා.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සහභාගී වන තරග පැවැත්වීමට නියමිත දළ කාල සටහන;

  • සමාරම්භක උත්සවය: 23
  • ජල ක්‍රීඩා;

 පිහිනුම්: 24 සිට 29 දක්වා

  • මලල ක්‍රීඩා: සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 5 දක්වා
  • ක්‍රිකට්;

 කාන්තා: 19 සිට 25 දක්වා

 පිරිමි: 27 සිට 7 (ඔක්තෝබර්) දක්වා

  • බැඩ්මින්ටන්: 28 සිට 7 දක්වා
  • දුනු විදීම: ඔක්තෝබර් 1 සිට 7 දක්වා
  • බොක්සිං: 24 සිට 5 දක්වා
  • චෙස්: 24 සිට 7 දක්වා
  • E Sport: 24 සිට 2 දක්වා
  • ජූඩෝ: 24 සිට 27 දක්වා
  • කරාතේ: 5 සිට 7 දක්වා
  • ස්ක්වොශ්: 26 සිට 5 දක්වා
  • ටයිකොන්ඩෝ: 24 සිට 28 දක්වා
  • බර ඉසිලීම: 30 සිට 7 දක්වා
  • මල්ලව පොර: 4 සිට 7 දක්වා
  • වූශු: 24 සිට 28 දක්වා
  • Sailing: 21 සිට 27 දක්වා
  • Rowing: 20 සිට 25 දක්වා
  • රග්බි: 24 සිට 26 දක්වා
  • ගෝල්ෆ්: 28 සිට 1 දක්වා
  • කාන්තා වෙරළ අත්පන්දු: 19 සිට 28 දක්වා
  • කලාත්මක ජිම්නාස්ටික්: 24 සිට 29 දක්වා

ලෝක මට්ටමෙන් ආසියාවට

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු දෙස ඇස ගසා සිටින අතරේ ම ඔබට ලෝක මට්ටමේ සිටිමින් ආසියානු පදක්කම් වෙනුවෙන් තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම දැක ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇති.

කාන්තා සහ පිරිමි ක්‍රිකට් ඉසව් වල දී ලෝක මට්ටම සහ ආසියාව අතර පැහැදිලි වෙනසක් නැති තරම් නිසාම මෙවර ක්‍රීඩා උලෙළේ දී ක්‍රිකට් ක්‍රීඩා තරග ඉතා උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි. එළඹෙන ඔක්තෝබර් මස 05 වැනි දා ආරම්භ වීමට නියමිත පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය නිසා සිය දෙවන පෙළ පිරිමි කණ්ඩායම් ආසියානු ක්‍රීඩා උළෙලට යොමු කිරීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ බංග්ලාදේශයට සිදු වුනා. නමුත් කාන්තා අංශයෙන් සිය හොඳම කණ්ඩායම් මෙවර තරගාවලියට යොමු කිරීමට සියලු රටවල් පියවර ගෙන තිබෙනවා.

මේ අතර ජල ක්‍රීඩාවල කිමිදුම් ඉසව්වෙන් චීනය ලෝක මට්ටමේ ආධිපත්‍යය මුදා හැරීමට සමත් වී තිබුනත්, මැලේසියාවේ Pandelela Rinong Pamg, Nur Dhabitah Sabri වැනි අය චීනයට අභියෝගයක් එල්ල කරතැයි බලාපොරොත්තු විය හැකි.

එමෙන්ම පිහිනුම් ඉසව්වල දී කොරියාවේ Hwang Sun-Woo, මෙන්ම ලියුකේමියාව රෝගයෙන් පීඩා විඳීමෙන් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වූ ජපානයේ Ikee Rikako පිළිබඳ ව ද විශේෂ අවධානයක් යොමු වනු ඇති.

මේ අතර තවමත් 15 හැවිරිදි වියේ පසු වන ජපානයේ Kusaki Hinano විසින් Skateboarding ඉසව්වෙන් මෙවර තරගාවලියට ඉදිරිපත් වන්නේ තරගාවලියේ ළාබාලතම තරගකාරියක් ලෙසයි.

එමෙන්ම 2020 ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී පිලිපීනය වෙනුවෙන් ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා දීමට සමත් වූ Hidilyn Diaz මෙවර 59kg බර පන්තිය යටතේ කාන්තා බර ඉසිලීම ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.

බැඩ්මින්ටන් ඉසව්වේ වත්මන් පිරිමි ඔලිම්පික් සහ ලෝක ශූරයා වන ඩෙන්මාර්කයේ Viktor Axelsen හැරුණු කොට බැඩ්මින්ටන් ලෝක මට්ටමේ ඉහළින් ම රැඳෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙවර ක්‍රීඩා උලෙළේ දී දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති. මේ අතරින් තායිලන්තයේ Kunlavut Vitidsarn සහ කොරියාවේ An Seyoung පිළිබඳ වැඩි අවධානයක් යොමු වනු ඇති.

මේස පන්දු ක්‍රීඩා ඉසව්වේ ලෝක මට්ටමේ ඉහළින් ම ආධිපත්‍යය දරන සත්කාරක චීනයට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දීත් අභියෝගයක් එල්ල වේද යන්න නම් පිළිතුරු නොමැති ගැටලුවක්.

මලල ක්‍රීඩාවේ බලාපොරොත්තු

නිමා වුනු මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී පිරිමි උස පැනීම ඉසව්වේ දී අවාසනාවන්ත ලෙස ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු වූ කටාර් දේශයේ Mutaz Essa Barshim මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව්වේ වැඩිම අවධානයක් යොමු වන තරගකරුවා බව සැකයකින් තොරව සඳහන් කළ හැකි.

එමෙන්ම මෙම ඉසව්වේ දී ඔහුට නිමා වූ Eugene Diamond League අවසන් තරගවාරයේ පිරිමි උස පැනීම ඉසව්ව ජයග්‍රහණය කළ කොරියාවේ Woo Sang-heyokගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති.

එමෙන්ම පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ වත්මන් ලෝක සහ ඔලිම්පික් ශූරයා වන ඉන්දියාවේ Neeraj Chopra ද මෙවර සිය ඉසව්ව නියෝජනය කරමින් තරග වැදීමට නියමිත අතර ඔහුට එල්ල වන ප්‍රබලතම අභියෝගය ලෙස නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ පාකිස්තානයේ Arshad Nadeem හඳුන්වා දිය හැකි.

මේ අතර කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වෙන් වත්මන් ලොව ඉදිරියෙන් ම පසු වන ජපානයේ Kitaguchi Haruka මෙවර තම ඉසව්ව වෙනුවෙන් සහභාගී වන බව තවමත් නිල වශයෙන් දැන ගැනීමට ලැබී නැහැ.

කෙසේ වෙතත් ඇය එම ඉසව්වට තරග නොකළත් නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව සහ ජාතික වාර්තාවක් ද පිහිටුවමින් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකාවේ නදීශා ලේකම්ගේ මෙම ඉසව්වෙන් තරග වදිනු ඇති. එමෙන්ම ඇයට මෙහි දී ද සිය උපරිමය ලබා දිය හැකි නම් පදක්කමක් පිළිබඳව ද බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇති.

නිමා වුනු Eugene Diamond League තරග වාරයේ දී පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ස්වීඩනයේ Mondo Duplantis විසින් සමත් වූ අතර, එම ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන්නේ ද ඔහුයි.

නිමා වුන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී Duplantisට පමණක් දෙවැනි වෙමින් රිදී පදක්කම ජයග්‍රහණය කළ පිලිපීනයේ EJ Obiena ද මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කමක් වෙනුවෙන් තරග වදිනා ආකාරය දැක ගැනීමට හැකියාව ලැබේවී.

මේ අතර නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 400×4 ඉසව්ව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නිමා වුන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී කැපී පෙනෙන දස්කම් පෙන්වූ ඉන්දීය 400×4 කණ්ඩායම අතරත් තියුණු තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව මෙවර ඔබට හිමි වනු ඇති.

2023 ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ සරල සාරාංශ ගත විස්තර මෙසේ වන අතර, හෙට (24) දිනයේ පටන් ආරම්භ වීමට නියමිත තරග ඉසව් වල සියලු විස්තර ද සවිස්තරාත්මක ව ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Olympics සහ 2023 ආසියානු ක්‍රීඩා උලෙළේ නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<