ලෝක කුසලානයට යන ඇෆ්ගන් සංචිතය නම් කරයි

ICC Cricket World Cup 2023

834

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන සංචිතය ඊයේ (13) දිනයේ දී ප්‍රකාශයට පත් කෙරුණා.

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ඇෆ්ගන් සංචිතයට ඇතුළත් නොවූ Naveen-ul-Haq සහ 23 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක Azmatullah Omarzai මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ආසියානු කුසලාන සංචිතයට එක් වී සිටි Gulbadin Naib, Riaz Hassan, Karim Janat, Sharafuddin Ashraf සහ Mohammad Saleem Safi යන ක්‍රීඩකයින් මෙම ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට විසි වී තිබෙනවා. නමුත් මේ අතරින් Naib සහ Ashraf කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස ඉන්දියාව බලා පිටත් ව යනු ඇති.

ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතය මෙසේයි; Hashmatullah Shahidi (නායක), Ibrahim Zadran, Rahmanullah Gurbaz, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Azmatullah Omarzai, Rashid Khan, Abdul Rahman, Noor Ahmad, Mujeeb-ur-Rahman, Fazalhaq Farooqi, Naveen-ul-Haq, Riaz Hassan

මෙවර ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානය අතිශය අවාසනාවන්ත කණ්ඩායමක් බවට පත් වූ අතර, ඔවුන් ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කළ තරගයේ දී දැක්වූ දුර්වල තරග රටාව බොහෝ විවේචනයට ද තුඩු දුන්නා.

එමෙන්ම 2019 එක්දින ලෝක කුසලානය ද ඇෆ්ගනිස්තානයට එතරම් සුභදායී එකක් නොවූ අතර එහි දී ඔවුන් ක්‍රීඩා කළ එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානය විසින් අනෙක් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ඉහළ සටනක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි. එමෙන්ම බොහෝ ඉන්දීය සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ලෝලීන් විසින් මග බලා සිටි Naveen-ul-Haq සහ Virat Kohliගේ මුණ ගැසීම ද ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහභාගී වන දෙවන තරගයේ දී දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් අනුමාන කළ හැකි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<