චමිල සහ අචලා, සුමෝ කිරුළු දරයි

530
Chamila Karawita

කුළුඳුල් ජාතික සුමෝ ශූරතාවලිය ඊයේ (25) කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. එක් දිනක් තුළ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ යන අංශ දෙකෙන්ම තරග වැදුණු පිරිමි සහ කාන්තා නියෝජකයින් 200 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරටයි.

මහනුවර සය සාමාජික හොකී තරගාවලියට මෙවර කණ්ඩායම් 57ක්

මෙරට හොකී කරලියේ ඉතා ආකර්ශනීය ඉසව්වක් වන මහනුවර සය සාමාජික හොකී තරගාවලිය මෙම සති අන්තයේ (2017 ජනවාරි 28/29) පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි…

ජපානය තුළදී උපන්, ශක්තිය මැන බලන ක්‍රීඩාවක් (මල්ලව පොර) වන සුමෝ ක්‍රීඩාව, “රිකිෂි” නමින් හැඳින්වෙන තරගකරුවන් දෙදෙනෙකු අතර පැවැත්වෙන්නකි. කවාකාර සීමාවක් තුළ පවත්වනු ලබන මෙහිදී ජයග්‍රහණය කළ හැකි වන්නේ අදාළ කවය තුළින් පිටතට ප්‍රතිවාදියාව තල්ලුකර දැමීමෙන් හෝ ප්‍රතිවාදියාගේ යටිපතුල හැර ඔහුගේ/ ඇයගේ ශරීරයේ යම් කොටසක් බිම ගෑවීමට සැලැස්වීමෙනි. වෘත්තීයමය වශයෙන් සුමෝ ක්‍රීඩාව පැවැත්වෙන ලොව එකම රට ජපානය වන අතර මෙම ක්‍රීඩාව ජපානයේ ජාතික ක්‍රීඩාවද වේ.

ශ්‍රී ලංකාව වෙත මෙම ක්‍රීඩාව හඳුන්වාදෙන ලද්දේ 2010 වසරේදී ය. ජාත්‍යන්තර තරගාවලියක් සඳහා මෙය යොදාගැනුනේ 2014 වර්ෂයේදීය. කුළුඳුල් ජාතික ශූරතාවලියේදී බර පන්ති 6ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණි.

ThePapare.com සමඟින් විශේෂයෙන් අදහස් දැක්වීමකට එක්වූ ජාතික සුමෝ පුහුණුකරු ලසන්ත ගුණවර්ධන, මෙරට සුමෝ ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ යහපත් ආකල්පයකින් කතා කළේය.

අපට හොඳ මල්ලවපොර ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉන්නවා. ඉතාම සාධනීය දේ තමයි අපි බස්නාහිර, මධ්‍යම, සබරගමුව කියන පළාත්වලදී මේ ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පසු කෙතරම් එය දියුණු වී ඇත්ද කියන දේ. 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා එකතු වන නව ක්‍රීඩා ලැයිස්තුවටත් සුමෝ ක්‍රීඩාව ඇතුළත් වෙනවා. 2020 ඔලිම්පික් තරගාවලිය ජපානයේදී පැවැත්වෙන නිසා ඔවුන්ගේ ජාතික ක්‍රීඩාව වන සුමෝ ක්‍රීඩාව ඊට ඇතුළත් කිරීමේ ලොකු හැකියාවක් තියෙනවා. සෑම බර පන්තියකින්ම ක්‍රීඩකයන් හතරදෙනා බැගින් තෝරාගෙන මගේ යටතේ ජාතික සංචිතයක් අපි නිර්මාණය කළා. ඉන් ක්‍රීඩකයන් හතර පස්දෙනෙක්වත් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා වි යැයි බලාපොරොත්තු වෙනවා.

ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම සුමෝ ක්‍රීඩිකාව - අචලා ප්‍රනාන්දු.
ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම සුමෝ ක්‍රීඩිකාව – අචලා ප්‍රනාන්දු.

මතුගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන චමිල කරවිට ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයේ දක්ෂතම සුමෝ ක්‍රීඩකයා බවට පත්වූ අතර ගුවන් හමුදාවේ අචලා ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ දක්ෂතම සුමෝ ක්‍රීඩිකාව බවට පත්විය. ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයේ සම ශූරතාවය දිනාගැනීමට නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමත් වූ අතර ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ ශූරතාවය ගුවන් හමුදා කණ්ඩායමට හිමිවිය.

ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම සුමෝ ක්‍රීඩකයා - චමිල කරාවිට
ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම සුමෝ ක්‍රීඩකයා – චමිල කරාවිට

කනිෂ්ඨ අංශයේ දක්ෂතම පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූයේ පිළිවෙලින් මහනුවර පරාක්‍රම මහා විද්‍යාලයේ යූ. ඉසුරංග සහ එච්. මෙලනි ය. කනිෂ්ඨ පිරිමි සහ කාන්තා සමස්ත ශූරතාවන් දෙකම දිනාගත්තේ මහනුවර පරාක්‍රම මහා විද්‍යාලයයි.

ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ක්‍රීඩා ඇමති, දයාසිරි ජයසේකර මහතා සහ මෙරට ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා එක්ව සිටියේය.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට