ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

4333

පස්වරක් එක්දින ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියාව මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඔවුන් පසුගිය මාසයේ දී ලෝක කුසලානය සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කළ අතර එයින් ලෝක කුසලානයට සහභාගී වන අවසන් 15 දෙනාගේ සංචිතය ඊයේ (05) ප්‍රකාශයට පත් කළා. 

එම 18 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටි Aaron Hardie, Nathan Ellis සහ Tanveer Sangha යන ක්‍රීඩකයින්ට අවසන් සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙන අතර ඔවුන්ගේ ප්‍රධාන ටෙස්ට් ක්‍රීඩක Marnus Labuschagne හට ද සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ. 

වේගපන්දු යවන ක්‍රීඩක Pat Cummins නායකත්වය දරන මෙම සංචිතයේ වේගපන්දු බළඇණිය සවිමත් කිරීම සඳහා Josh Hazlewood සහ  Mitchell Starcට අමතරව Sean Abbott කණ්ඩායමට එක්ව තිබෙනවා. 

Ashton Agar සහ Adam Zampa දඟපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වෙද්දී, පිතිකරුවන් ලෙස David Warner, Steve Smith සහ Travis Head මෙම කණ්ඩායමට එක්ව සිටිනවා. 

මෙම සංචිතයේ ප්‍රබලත්වය වැඩි කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස Mitchell Marsh, Glenn Maxwell, Marcus Stoinis සහ Cameron Green සංචිතය නියෝජනය කරද්දී කඩුලු රැකීමේ වගකීම සඳහා Alex Carey සහ  Josh Inglis කණ්ඩායමට එක් වෙනවා. 

ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට දකුණු අප්‍රිකාවේ එක්දින තරගාවලියට සූදානම් වෙමින් සිටින අතර ඔවුන් ලෝක කුසලානයට පෙර ඉන්දියාව සමඟ එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි. 

ඔවුන් ලෝක කුසලානයේ දී නෙදර්ලන්තය සහ පාකිස්තානය සමඟ පුහුණු තරග ක්‍රීඩා කිරීමෙන් පසුව සිය පළමු තරගය ඉන්දියාවට එරෙහිව ඔක්තෝබර් 28 වැනිදා සහභාගී වෙනවා.  

මෙම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ආබාධවලින් සුවය ලබමින් සිටියත්, ඔවුන් සියල්ල ඉන්දීය තරගාවලියට පෙර සම්පූර්ණ සුවය ලබා කණ්ඩායමට එක් වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියා තේරීම් කමිටු ප්‍රධානී George Bailey ප්‍රකාශ කළා. 

“Pat Cummins, Steve Smith, Mitchell Starc සහ  Glenn Maxwell යන ක්‍රීඩකයින් නැවත ක්‍රීඩා කරන්න අවශ්‍ය මාර්ගයට ඇවිත් තියෙන්නේ. ඔවුන් ඉදිරි සතිය තුළ නැවතත් පැමිණ ඉන්දීය තරගාවලියේ තේරීම් වලට ඇතුළත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 

කණ්ඩායමට දකුණු අප්‍රිකාව තුළ තරග අටක් ක්‍රීඩා කරන්න තියෙනවා වගේම ඒකෙන් පස්සේ ඉන්දීය තරගාවලියේ කණ්ඩායම ගැන තීරණයක් ගන්නවා. ඔවුන්ට ලෝක කුසලානයේ ද පුහුණු තරග දෙකක් නිසා කණ්ඩායමේ සංයුතිය අපට හදාගන්න ඉතා පහසුයි.”  

තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම: Pat Cummins (c), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Ashton Agar, Cameron Green, Josh Hazlewood, Travis Head, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc. 

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සඳහා. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<