නවසීලන්තයෙන් ලෝක කුසලානයට අත්දැකීම් බහුල සංචිතයක්

400

මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන වත්මන් ලෝක අනුශූර නවසීලන්ත කණ්ඩායමේ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පහළොස් දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය නිල වශයෙන් තහවුරු කළ අතර පා දඟපන්දු යවන ක්‍රීඩක Ish Sodhi සංචිතයට කැඳවා තිබෙනවා.

ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි අත්දැකීම් බහුල පිතිකරු Kane Williamson මෙම කණ්ඩායමට ඇතුළත් වන අතර කණ්ඩායම මෙහෙය වීමේ වගකීම හිමිව තිබෙන්නේ ද ඔහුටයි.

ඔහුට අමතර මෙම සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක Tim Southee ද ඇතුළත් වන ඒ අනුව ඔවුන් දෙදෙනා සහභාගී වන සිව්වැනි ලෝක කුසලාන තරගාවලිය මෙය වීම ද විශේෂත්වයක්.

මෑත කාලයේ නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ Mark Chapman සහ එංගලන්තයට එරෙහි තරගයේ තුන් ඉරියව් දස්කම් දැක්වූ Rachin Ravindra ද මෙම සංචිතයට කැඳවා තිබෙනවා.

යොවුන් පිතිකරු Finn Allen සහ කඩුලු රකින පිතිකරු Tim Seifert හට මෙම සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙන අතර කණ්ඩායමට ඇතුළත් එකම කඩුලු රකින්නා වන්නේ Tom Latham.

එමෙන්ම ආබාධයක් නිසා මෑත කාලයේ නවසීලන්ත කණ්ඩායමෙන් ඉවත්ව සිටින Adam Milne හට ද මෙම සංචිතයේ ඉඩක් හිමිව නැහැ.

මෙම සංචිතය පිළිබඳ අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු Gary Stead ප්‍රකාශ කළේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සහ යොවුන් ක්‍රීඩකයින්ගේ එකතුවෙන් සෑදුණු මෙම සංචිතය තෝරා ගැනීම ඉතා අපහසු වූ බවයි.

“මෙම තරගාවලියට කණ්ඩායමක් තෝරා ගැනීම හැමවිටම විශේෂ දෙයක් වන අතර මම සුබ පතනවා එම ක්‍රීඩකයින් පහළොස් දෙනාට. සිය රට ලෝක කුසලානයක දී නියෝජනය කරන්න ලැබෙන එක විශාල ගෞරවයක්.

හතරවැනි වරටත් කණ්ඩායම නියෝජනය කරන Kane Williamson සහ Tim Southee වගේම පළමු වරට ලෝක කුසලානයට යන හැමෝටම මේක උද්‍යෝගිමත් කාලයක් වෙයි.

ලෝක කුසලානයට කණ්ඩායම තෝරන හැමෝටම දැඩි තීරණ ගන්න වෙනවා වගේම එයින් හිත් රිදෙන ක්‍රීඩකයින් ද ඉන්නවා.

අපගේ ප්‍රධානතම අවධානය හිමි වූ කාරණය වුනේ මෙම තරගාවලියට ඉතා සමබර කණ්ඩායමක් නම් කරන එකයි.”

මෙම කණ්ඩායම ලෝක කුසලානයට පෙර එංගලන්තය සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිත අතර ඔවුන් ලෝක කුසලානය ආරම්භ කරමින් ඔක්තෝබර් 05 වැනිදා එංගලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

තරගාවලියට නම් කළ නවසීලන්ත සංචිතය: Kane Williamson (නායක), Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitch Santner, Ish Sodhi, Tim Southee, Will Young.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<