ප්‍රබලයින් කැඳවමින් නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2345

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නෙදර්ලන්ත සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුනා.

එම තරගාවලියේ දී එංගලන්ත ප්‍රාන්ත තරග නිසා නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය නොකළ ප්‍රබල ක්‍රීඩකයින් වන Colin Ackermann, Paul van Meekeren සහ Roelof van der Merwe ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

තිස්පස් හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික Sybrand Engelbrecht ද මෙවර නෙදර්ලන්ත සංචිතයට නම් කර තිබෙන අතර ඔහු 2008 වසරේ පැවති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී නෙදර්ලන්තය නියෝජනය කළ Michael Levitt, Vivian Kingma සහ  Clayton Floyd මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙන අතර Noah Croes සහ Kyle Klein අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

ආබාධයක් නිසා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අහිමි වූ වේගපන්දු යවන ක්‍රීඩක Fred Klaassenට ලෝක කුසලානය ද ආබාධය නිසා අහිමි වන අතර එය නෙදර්ලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් වෙනවා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Scott Edwardsට හිමිව තිබෙන අතර නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයේ පළමු තරගය පාකිස්තානයට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය සඳහා නම් කළ නෙදර්ලන්ත කණ්ඩායම: Scott Edwards (නායක), Colin Ackermann, Shariz Ahmed, Wesley Barresi, Logan van Beek, Aryan Dutt, Sybrand Engelbrecht, Ryan Klein, Bas de Leede, Paul van Meekeren, Roelof van der Merwe, Teja Nidamanuru, Max O’Dowd, Vikram Singh, Saqib Zulfiqar.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<