Kohliට ගැටෙන්න Naveen නැති වීම ගැන හතරවටින් කනගාටුව!

Asia Cup 2023

1693

හෙටින් (30) ආරම්භ වීමට නියමිත 2023 ආසියානු කුසලානය වෙනුවෙන් නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක Naveen-ul-Haqගේ නම ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවලින් මතු වෙමින් පවතිනවා.

මෙහි දී විශේෂයෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි Virat Kohli – Naveen ඝට්ටනය දැකීමට ඇති ඉඩ අවහිර වීමයි මෙහි ප්‍රධානතම මාතෘකාව බවට පත් වී ඇත්තේ.

නිමා වූ IPL තරගාවලියේ දී Royal Challengers Bangalore නියෝජනය කළ Virat Kohli සහ Lucknow Super Giants කණ්ඩායමේ Naveen-ul-Haq අතර යම් වාචික ඝට්ටනයක් ඇති වුනා. තරමක් උණුසුම් අන්දමින් ඇදී ගිය මෙම සංවාදය නිසා Naveen එම දවස් කිහිපයේ ක්‍රිකට් ලොව ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වූ අතර, පසුව ද කලින් කලට ඔහුගේ නම විවිධ පුවත් වෙනුවෙන් ඉහළට මතු වුනා.

එහි නවතම අදියර පසුගිය ඉරිදා (27) එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන සංචිතය නම් කිරීමෙන් පසු ආරම්භ වී තිබෙනවා.

මෙම සංචිතය සඳහා Naveen-ul-Haqගේ නම ඇතුළත් නොවීම පිළිබඳ විශාල අවධානයක් යොමු වුනා.

ඔහුට සංචිතයේ ඉඩක් වෙන් නොවීම නිසා නැවතත් ක්‍රිකට් පිටිය තුළ දී Kohli සහ Naveen ගැටුමක් ඇති වීමට තිබූ ඉඩ අවහිර වීම පිළිබඳ ව ක්‍රිකට් රසිකයින් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් පවතිනවා.

“Naveen-ul-Haqගේ පන්දුවකට Kohli විසින් ක්‍රීඩාගාරය වෙත One Way Ticket එකක් (නැවත පන්දුව සොයා ගන්න නොහැකි බව අඟවමින්) ලබා දෙන දර්ශනය අපිට කණගාටුදායක ලෙස අහිමි වුනා.”

විශේෂයෙන්ම බොහෝ ඉන්දීය ක්‍රිකට් රසිකයින් විසින් මෙම ගැටුම පිළිබඳ අවධානයෙන් සිටි අතර, ඔවුන් බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ Kohli – Naveen දෙදෙනා නැවත මුණගැසීම Naveen හට එතරම් සුබදායී එකක් නොවනු ඇති බවයි.

කෙසේ වෙතත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් Naveen – Kohli ගැටුමක් බලාපොරොත්තු වුවත් එළඹෙන ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානය සහ ඉන්දීය කණ්ඩායම් මුණ ගැසීමට ඇති ඉඩ නම් තරමක් සීමිතයි. ඒ වෙනුවෙන් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් ද්විත්වය ම මූලික වටයෙන් ඉදිරි වටයට පිවිසිය යුතුයි.

මූලික වටයේ දී ඉන්දියාව පාකිස්තානය සහ නේපාලය සමඟ ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඇෆ්ගනිස්තානය විසින් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමඟ තරග වැදීමට නියමිතයි.

කෙසේ වෙතත් එළඹෙන ලෝක කුසලානයේ දී නම් ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අනිවාර්යයෙන් ම එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

මේ අතර තමන්ට ඇෆ්ගනිස්තාන සංචිතයේ දොර විවර නොවීමෙන් පසුව Instagram සටහනක් පළ කළ Naveen විසින් මෙසේ සඳහන් කර තිබුණා.

“ඔබේ ඇස් අඳුරට කෙතරම් හුරු වුනත්, ඔබ එය කවදාවත් ආලෝකය ලෙස වරදවා වටහා නොගනීවී.”

 

View this post on Instagram

 

A post shared by Naveen ul haq Murid (@naveen_ul_haq)

කෙසේ වෙතත් Naveen විසින් පසුගිය ජූලි මාසයේ දී ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් වෙනුවෙන් ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා එංගලන්තය බලා පිටත යාමට නියමිත ව තිබුණා. එම කාලයේ දී ලද වාර්තා අනුව ඔහුට මාස දෙකක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඈත් ව සිටීමට සිදු වන බවයි දැන ගන්නට ලැබුණේ.

නමුත් තවමත් එම ආබාධ තත්වය පිළිබඳ කිසිදු යාවත්කාලීන කිරීමක් සිදු වී නැහැ. කෙසේ වෙතත් එළඹෙන ලෝක කුසලානයට හෝ සහභාගී වීම වෙනුවෙන් Naveen-ul-Haq සිය බලාපොරොත්තු දල්වා ගෙන සිටින බව නම් විශ්වාස කළ හැකියි. එමෙන්ම ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන සංචිතයට එක් වීමට Naveen හට හැකියාව ලැබුණ හොත් Kohli – Naveen ක්‍රිකට් ගැටුමක් දැක බලා ගැනීමට ද ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට බොහෝ විට අවස්ථාවක් හිමි වනු ඇති.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<