දක්ෂතම ක්‍රීඩකයා කාලිංග; සහය දිවීමේ වැඩි ගෞරවය ඉන්දියාවට

101වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

299

දින තුනක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අද (30) නිමාවට පත් වුනා.

තරගාවලියේ අවසන් දිනය වූ අද දිනයේ උදෑසන පැවති කාන්තා මීටර් 800 තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වූ අතර ඇය එම තරගය අවසන් කිරීමට මිනිත්තු 2:02.83ක කාලයක් ගත කළා.

නැවතත් සිය දස්කම් පෙන්නුම් කළ ජනිඳු ලක්විජය මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ ඊයේ (29) පිහිට වූ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වූ අතර තත්පර 13.72ක කාලයකින් තරගය අවසන් කළ ඔහු එහි අවසන් තරගය ජයග්‍රහණය කළා.

උදෑසන පැවති මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ තරගය මිනිත්තු 3:17.33ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර මිනිත්තු 3:18.03ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඉන්දීය A කණ්ඩායම දෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය තෙවැනි ස්ථානයේ අවසන් කළ අතර ඔවුන් තරගය අවසන් කිරීමට මිනිත්තු 2:19.22ක කාලයක් ගත කළා.

තරගාවලියේ දිනා ගත් දෙවැනි රන් පදක්කම දිනා ගනිමින් කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රුමේෂිකා රත්නායක සමත් වුනේ තත්පර 24.57ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

මීටර් 200 පිරිමි ඉසව්ව තත්පර 21.60ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට අයි. ලක්ෂාන්ට හැකි වූ අතර එහි දෙවැනි ස්ථානය චලිත පියුමාල් විසින් දිනා ගත්තා.

තරගාවලියේ වැඩිම අවධානය දිනා ගත් ඉසව්ව වූ පිරිමි මීටර් 4×400 තරගය තියුණු සටනකින් පසු ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම (මිනිත්තු 3:02.02) සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත්තේ තත්පර 3:02.69ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

> තරගාවලියේ සමස්ත ප්‍රතිඵල සටහන<<

මෙවර තරගාවලියේ කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය IAAF ප්‍රසාද ලකුණු 1175ක් සමඟ කාලිංග කුමාරගේ විසින් දිනා ගත්තා.

එමෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි (පිරිමි) සම්මානය ද කාලිංග කුමාරගේ දිනා ගනිද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ ගයන්තිකා අබේරත්න විසිනුයි.

>> තරගාවලියේ සම්මාන බෙදී ගිය ආකාරය<<

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<