ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට ඉන්දියාවෙන් ප්‍රබල සංචිතයක්

101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

706
101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

මෙම මාසය (ජූලි) අවසානයේ දී පැවැත්වීමට නියමිත 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව සහ නිමා වූ ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (20) සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, අනුග්‍රාහක ආයතන කිහිපයක නිලධාරීන් සහ මාධ්‍යවේදීන් එක්ව සිටියා.

එහි දී රැස්ව සිටි පිරිසි අමතමින් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ,

“ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය වාර්තා තබමින් නිමා කරන්න අපිට පුළුවන් වුනා. අපි හොඳ සැලසුමක් ඇතුව තරගාවලියට සැලසුම් සකස් කරේ. ඒ නිසා අපිට පුළුවන් වුනා ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න.

මේ විදියට වැඩ කරලා අපිට පුළුවන් ඉදිරියේ දී මීටත් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අපිට දැන් ඉන්නවා. දැන් තියෙන්නේ ඒ අයව නිවැරදිව කළමනාකරණය කරලා ඉස්සරහට යන්නයි.”

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කළේ, මෙවර තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් රැසක් සහභාගී වන බවයි.

“101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ඉන්දියාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙක් මේ වන විට සහභාගීත්වය තහවුරු කරලා තියෙනවා. සහය දිවීමේ කණ්ඩායම් සහ නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ඉහළ දස්කම් දක්වමින් පදක්කම් දිනා ගත් ක්‍රීඩිකාවන් ද එයට ඇතුළත්.

ඒ වගේම මෙම තරගාවලියට මාලදිවයින නියෝජනය කරමින් කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිතයි. අපි ජපන් සහය දිවීමේ කණ්ඩායමක් ද මේ තරගාවලියට එක් කර ගන්න සැලසුම් කරලා තිබ්බත්, අවසන් මොහොතේ ඒ සැලසුම් අතහරින්න සිදු වුනා.

ඒ වගේම දැනට ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට 756ක් අයැදුම් කරලා තියෙනවා. ඒ වගේම ඔක්තෝබර් මයේ ඉන්දියාවේ රංචි හිදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට තේරීම් තරගාවලියක් ලෙසයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ.”

එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මූලික සංචිතය මේ වන විට නම් කර තිබෙන බව සහ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දක්වන දස්කම් මත අවසන් සංචිතය තෝරා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

“අපි නම් කරපු මූලික සංචිතයට කාන්තා 4x400 සහය කණ්ඩායමක් ඇතුළත් කළේ නැහැ. නමුත් ඒ සංචිතයේ තරුෂි කරුණාරත්න, නදීෂා රාමනායකට අමතරව ඩිල්ෂි කුමාරසිංහ සහ ජයේෂි උත්තරා ඇතුළත් වෙනවා.

ඉතින් ඩිල්ෂි කුමාරසිංහට සහ ජයේෂිට ජාතික තරගාවලියේ දස්කම් දක්වන්න පුළුවන් වුනොත් අපිට පුළුවන් වෙයි කාන්තා කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන්න.”  

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ජූලි 28 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියේ ඇතුළු දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<