වාර්තාවක් සමඟ ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ඇරඹෙයි

101වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

752
101වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

දේශීය මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 101 වැනි අදියර අද (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව මාලදිවයින් සහ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වන මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු තරගාවලි වාර්තාව තැබීමට සමත් වුනේ ඉන්දීය ක්‍රීඩකයෙකු විසිනුයි.

පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව සඳහා සහභාගී වූ ඉන්දීය ජාතික Kishore Kumar Jena මීටර් 84.38ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර ඒ සමඟ ඔහු පසුගිය වසරේ දී මීටර් 82.18ක දස්කමක් දක්වමින් සුමේධ රණසිංහ විසින් පිහිටුවා තිබූ තරගාවලි වාර්තාව බිඳ හෙළුවා.

එහි දෙවැනි ස්ථානය මීටර් 77.36ක දස්කමක් දැක්වූ ඉන්දීය ජාතික Shivapal Singh විසින් දිනා ගනිද්දී, සුමේධ රණසිංහ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනේ මීටර් 73.40ක දස්කමක් සමඟයි.

දිනය ආරම්භ කරමින් පැවති පළමු ඉසව්වේ ද ජයග්‍රහණය ඉන්දීය ක්‍රීඩිකාවකට හිමි වූ අතර කාන්තා මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 35:29.22ක කාලයකින් අවසන් කළ Seema එම ඉසව්ව ජයග්‍රහණය කළා.

කාන්තා මීටර් 1500 ඉසව්ව සුපුරුදු ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණය කිරීමට ගයන්තිකා අබේරත්නට හැකි වූ අතර ඇය එහි දී වාර්තා කළ කාලය මිනිත්තු 4:18.83ක්.

කාන්තා යගුලිය දැමීම ඉසව්ව මීටර් 13.43ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය කිරීමට ඔවිනි චන්ද්‍රසේකරට හැකි වෙද්දී, කාන්තා මිටිය විසි කිරීම ඒ. ලක්ෂිකා (මීටර් 44.73) විසින් ජයග්‍රහණය කළා.

>> දිනයේ සමස්ත තරග ප්‍රතිඵල<< 

101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ වැඩි අවධානය දිනා ගන්නා මීටර් 100 සහ 400 අවසන් තරග හෙට (29) පැවැත්වෙන අතර එම තරග තොරතුරු සඳහා ද රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත්මලලක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<