2026 පාපන්දු ලෝක කුසලානයේ පස් වැනි දිනයට අදාළ ව තරග හතරක් ඊයේ (15) රාත්‍රියේ සහ අද (16) අලුයම ක්‍රියාත්මක වුනා.
මෙම තරග හතරම ජය පැරදුමකින් තොරව නිමාවට පත් වූ අතර, 1958 වසරෙන් පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියක එක් දිනයක් තුළ පැවැත්වුණු සියලු තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනේ.
ස්පාඤ්ඤය සහ කේප් වර්ඩ්
මෙවර ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් අතරින් ශූරතාව දිනා ගනු ඇතැයි ඉහළ බලාපොරොත්තු තබා ඇති ස්පාඤ්ඤය සහ පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් ප්‍රමාණයෙන් කුඩාම මෙන්ම ජනගහනයෙන් තෙවැනියට කුඩාම රට වන Cape Verde කණ්ඩායම් අතර මෙම තරගය ක්‍රියාත්මක වුනා.
Cape Verde කණ්ඩායම තරගය ආරම්භයේ සිටම අධි ආරක්ෂාකාරී තරග පිළිවෙතක් අනුගමනය කරමින් 5-4-1 ක්‍රීඩක රටාව සහිතව තරගයට සහභාගී වූ අතර, ස්පාඤ්ඤයට මෙම ආරක්ෂාව අබිබවා යාමට ඉතා අසීරු වුනා.
මෙහි දී Cape Verde දැල් රකින ක්‍රීඩක Vozinha විසින් ස්පාඤ්ඤයේ ගෝල උත්සාහයන් 07ක් නතර කිරීමට සමත් වූ අතර, ලෝක කුසලාන ඉතිහාසයේ වයස අවුරුදු 40 ඉක්මවූ දැල් රකින්නන් අතරින් එවන් දෙවැනියාට වැඩිම ගෝල ආරක්ෂා කිරීම් කළ ක්‍රීඩකයා වීමට ද ඔහුට හැකියාව ලැබුණා.
එමෙන්ම ස්පාඤ්ඤ Center Forward ක්‍රීඩක Mikel Oyarzabal හට තරගය ආරම්භ වීමෙන් මිනිත්තු 30ක් ගෙවෙන තෙක් පන්දුවට කිසිම ආකාරයකින් ස්පර්ශයක් සිදු කිරීමට හෝ නොහැකි වීම විශේෂත්වයක්.
ස්පාඤ්ඤය විසින් තරගයේ පළමු අර්ධයෙන් පසුව සිය සුපිරිතම ක්‍රීඩකයා වන Lamin Yamal ද පිටියට රැගෙන එමින් තරගය ජය ගැනීම සියලු උත්සාහය දැරූ නමුත් Cape Verde විසින් ඓතිහාසික ජය පැරදුමක් කරා තරගය රැගෙන යාමට සමත් වුනා. ඒත් සමඟින් ම සිය මංගල ලෝක කුසලානය නියෝජනය කළ Cape Verde ලෝක කුසලාන ලකුණු සටහනට ද ඇතුළත් වීමට සමත් වුනා.
බෙල්ජියම සහ ඊජිප්තුව
පෙර තරගයට නොදෙවෙනි ලෙස ක්‍රියාත්මක වූ ඉතා උණුසුම් තරගයක් ලෙස මෙයත් හඳුන්වා දිය හැකි.
තරගයේ 19 වැනි මිනිත්තුවේ දී ඊජිප්තු ක්‍රීඩක Emam Ashour විසින් තරගයේ පළමු ගෝලය (එය ඔහුගේ මංගල ජාත්‍යන්තර ගෝලය ලෙස ද සටහන් වුනා.) වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව බෙල්ජියම් ක්‍රීඩකයින් තරගය නැවත සම කිරීමට උත්සාහ දරමින් සිටියා. නමුත් ඒ කිසිවත් සාර්ථක නොවූ නිසා Romelu Lukaku පිටියට කැඳ වූ අතර, ඔහුගේ පැමිණීමෙන් තත්පර 22ක් ගෙවෙන මොහොතේ ඊජිප්තු ක්‍රීඩක Mohamed Hany විසින් Own Goal එකක් වාර්තා කරමින් බෙල්ජියමේ අවශ්‍යතාව ඉටු කර දුන්නා.
මේත් සමඟම මෙවර ලෝක කුසලානය තුළ මේ දක්වා Own Goal 3ක් වාර්තා වී ඇති අතර, 2022 ලෝක කුසලාන තරගාවලිය පුරාවටම වාර්තා වී තිබුණේ Own Goal දෙකක් පමණක් වීමත් සුවිශේෂී සිදුවීමක්.
එමෙන්ම මෙම තරගයත් සමඟ ඊජිප්තුව ලෝක කුසලාන ඉතිහාසයේ තරග 08ක් ක්‍රීඩා කර ඉන් එක් තරගයක් හෝ ජය ගැනීමට අසමත් වී තිබෙනවා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
සෞදි අරාබිය සහ උරුගුවේ
මෙම තරගය ද ඉතා උණුසුම් ලෙසින් ඇදී ගියා.
තරගයේ 41 වැනි මිනිත්තුවේ දී සෞදි ක්‍රීඩක Abdulelah Al Amri විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ලෝක කුසලානයක ගෝලයක් වාර්තා කළ පළමු සෞදි ආරක්ෂක පෙළ ක්‍රීඩකයා ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක් වුනා.
තරගයේ දී උරුගුවේ කණ්ඩායමෙන් ඉතා තියුණු අභියෝගයක් එල්ල වූ අතර, තරගයේ 80 වැනි මිනිත්තුවේ දී Maximiliano Araujo විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය සම මට්ටමට ගෙන ඒමට සමත් වුනා.
කෙසේ වෙතත් මේ වෙනුවෙන් උරුගුවේ ක්‍රීඩකයින්ට ඉතා දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ අතර, ඔවුන් තරගයේ දෙවැනි අර්ධයේ දී ගෝල උත්සාහයන් 23ක් දැරුවා. මෙය 1966 වසරේ දී නැගෙනහිර ජර්මනිය විසින් චිලී දේශයට එරෙහිව පළමු අර්ධය තුළ ගෝල උත්සාහයන් 24 දැරූ අවස්ථාවට පමණක් දෙවැනි වනවා.
එමෙන්ම සෞදි දැල් රකින්නා වන Mohammmed Al Owais විසින් මෙම තරගයේ දී ගෝල ආරක්ෂා කිරීම් 09 සිදු කිරීමට සමත් වුනා.
මේත් සමඟම මෙතෙක් තරගාවලිය තුළ ක්‍රීඩා කළ එකදු දකුණු ඇමරිකානු රටක් හෝ තරගයක් ජය ගැනීමට සමත් වී නැහැ. හෙට දිනයේ දී මෙය වෙනස් කිරීමට ආජන්ටිනාවට අවස්ථාව හිමි වනු ඇති.
ඉරානය සහ නවසීලන්තය
මෙම තරගයේ පළමු අර්ධයේ 07 වැනි මිනිත්තුවේ දී Elijah Just විසින් නවසීලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
ඉන් අනතුරුව Ramim Rezaeian විසින් තරගයේ 32 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම ලෝක කුසලාන දෙකක ගෝල වාර්තා කිරීමට සමත් වූ පළමු ඉරාන ක්‍රීඩකයා බවට පත් වීමට ද ඔහුට හැකියාව ලැබුණා.
තරගයේ 55 වැනි මිනිත්තුවේ දී Just විසින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කරමින් ලෝක කුසලාන තරගයක ගෝල දෙකක් වාර්තා කළ පළමු නවසීලන්ත ක්‍රීඩකයා වීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ 64 වැනි මිනිත්තුවේ දී ඉරානය වෙනුවෙන් Mohammad Mohebi විසින් ගෝලයක් වාර්තා කරමින් නැවත තරගය සම මට්ටමට ගෙන ඒමට සමත් වුනා.
මේ අනුව 1958 වසරෙන් පසුව ලෝක කුසලානයක එක් දිනයක තරග සියල්ලම ජය පැරදුමෙන් තොරව නිමා වූ අතර, ඉරානය මෙම තරගය ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමත් සමඟ මෙතෙක් තරගාවලිය තුළ ක්‍රීඩා කළ සියලු ආසියානු කණ්ඩායම් තවමත් එකදු තරගයක් හෝ පරාජය නොවී සිටීමට සමත් වී තිබීමත් විශේෂත්වයක්.
තරගාවලියේ 06 වැනි දිනය තුළ තවත් තරග 04ක් පැවැත්වීමට නියමිතයි.
- හෙට අලුයම 12.30: ප්‍රංශය සහ සෙනගාලය
- උදෑසන 3.30: ඉරාකය සා නෝර්වේ
- උදෑසන 6.30: ආජන්ටිනාව සහ ඇල්ජීරියාව
- උදෑසන 9.30: ඔස්ට්‍රියාව සහ ජෝර්දානය
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<






















